විනීත වස්තු

එක් පිණ්ඩවාරික භික්ෂුවක් පුටුවක රෙදිකඩකින් වසා තබා සිටි ළදරුවකු යට කොට හිඳ ගත්තේ ය. ළදරුවා මළේය. ඒ බව බුදුරදුන්ට සැලකළ කල්හි ඉන් පාරාජිකාවක් නැති බව වදාරා මේ සිකපදය පනවා වදාළහ.

“න ච භික්ඛවෙ අප්පටිවෙක්ඛිත්වා ආසනෙ නිසීදිතබ්බං. යො නිසීදෙය්‍ය ආපත්ති දුක්කටස්ස”[1]

“මහණෙනි, නො විමසා අසුනෙහි නො හිඳිය යුතුය. යමෙක් හිඳී නම් ඔහුට දුකුළා ඇවැත් වේ” ය යනු එහි තේරුම ය. වාඩි වන කල්හි ආසනයේ සැටි හොඳට නො පෙනේ නම් අත ගා බලා වාඩිවිය යුතුය. ඇතිරියක් නැති අසුනෙහිත් බලා සිටියදී ඇතිරියක් එලූ අසුනෙහිත් නො විමසා හිඳීම වටනේ ය. මිනිස්සු තමා ඉදිරියේ ආසනය අතගා මෙහි හිඳිනු මැනවයි කී කල්හි ද නො විමසා හිඳීම සුදුසු ය. කලින් වාඩිවී සිටි භික්ෂූන් එහා මෙහා වූ දීර්ඝාසනයෙහි ද නො විමසා හිඳීම සුදුසුය. යම් කිසිවක් වැසී ඇති නම් ඒ බව දැනෙන තුනී වස්ත්‍ර‍ එලා ඇති අසුනෙහි නො විමසා හිඳීම සුදුසු ය. ඝන ඇතිරි එලූ අසුනෙහි නො විමසා හිඳීම නුසුදුසු ය.

පියපුතු දෙදෙනෙක් පැවිදිව විසූහ. දිනක් සංඝයාට රැස්වීමට කාලය දැන් වූ කල්හි “ස්වාමීනි, යන්න ඔබ වහන්සේගේ පැමිණීම සංඝයා බලාපොරොත්තු වන්නේය” යි කියා පුතා පියාගේ පිටට අත තබා තල්ලු කෙළේය. එකල්හි වැටී පියමහණ කාලක්‍රියා කෙළේය. ඒ කරුණ ගැන සැක ඇති වූ පුත් මහණ බුදුන් වහන්සේට සැල කෙළේය. “මහණ, නුඹ කිනම් සිතකින් තල්ලු කෙළෙහි දැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ කල්හි “භාග්‍යවතුන් වහන්ස, මරන අදහසින් නො වෙමි” යි පුත් මහණ සැල කෙළේය. එකල්හි තථාගතයන් වහන්සේ “මරන අදහස නැතියහුට ඇවැත් නැත” ය යි වදාළ සේක.[2]

එක්තරා පිණ්ඩපාතික භික්ෂුවක් වස සහිත පිණ්ඩපාතයක් ලබා ආසන ශාලාවට ගෙන ගොස් එහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට තමාගේ පාත්‍රයෙන් ආහාර පිළිගැන්වීය. ඒවා වැළඳූ භික්ෂූහු මරණයට පත් වූහ. ඒ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි උන්වහන්සේ “නුඹ කිනම් සිතකින් එය කෙළෙහි දැ” යි අසා වදාරා “භාග්‍යවතුන් වහන්ස, මම වසක් බව නො දැන භික්ෂූන් වහන්සේලාට පිළිගැන්වීමි”යි සැල කළ කල්හි “මහණ, නො දන්නහුට ඇවැත් නැතය” යි වදාළ සේක.

එක් භික්ෂුවක් මෙයින් කුමක් සිදුවේදෝ යි විමසනු පිණිස අන් භික්ෂුවකට වස දිණ. ඒ භික්ෂුව මරණයට පත් විය. එකරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි කිනම් සිතකින් එය කෙළෙහි දැ යි අසා විමසීම පිණිසය යි සැල කළ කල්හි විමසීමේ අදහස ඇතියහුට පාරාජිකාවක් නැත, ථුලැසි ඇවැත් වේය යි වදාළහ.

එක් සමයෙක්හි සමගමහණහු ගිජුකුළුපව්වට නැඟ විනෝදය පිණිස ගලක් පෙරලූහ. ගොපල්ලෙක් යට වී මළේ ය. ඒ කරුණ බුදුන් වහන්සේට සැල කළ කල්හි එයින් පරිජි ඇවතක් නො වන බව වදාරා,

“න ච භික්ඛවෙ දවාය සිලා පවිජ්ඣිතබ්බා, යො පවිජ්ඣෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[3]

යන සිකපදය පැනවූ සේක. “මහණෙනි, ක්‍රීඩා පිණිස ගල් නො පෙරළිය යුතුය. යම් මහණෙක් ගල් පෙරළුයේ නම් ඔහුට දුකුළා ඇවැත් වේය” යනු එහි තේරුමය. මහ ගල් පෙරළීම පමණක් නොව ගල් කැට මැටිකැට කැබලිති පොලු යන මේවා අතින් හෝ පයින් දමා ගැසීම ද දුනුවලින් විදීම ද භික්ෂූන්ට නො වටනේය. අහර බෙදීම් පිළියෙල කිරීම් ආදියෙහිදී කවුඩන් එළවීම සඳහා ගල් ගැසීම් ආදිය වටනේය. විහාරකර්මාන්තාදිය කිරීමෙහිදී ගල් ආදිය පෙරළීම විසි කිරීම වටනේය.[4]

එක්තරා භික්ෂුවක් විහාරයක් සෙවෙනි කළ භික්ෂුවකට වහලෙන් බසින්නට තැනක් දැක්වීය. එතැනින් බස්නා භික්ෂුව වැටී මළේය. එකරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි මැරීමේ අදහස නැතියහුට ඇවැත් නැතය යි වදාළ සේක.

එක්තරා භික්ෂුවක් මරන අදහසින් විහාරයක් සෙවෙනි කළ භික්ෂුවකට බසින්නට තැනක් දැක්වීය. එතැනින් බස්නා භික්ෂුව වැටී මළේය. එකරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි මරණ අදහස ඇති කල්හි පාරාජිකාපත්ති වේය යි වදාළහ.

එක්තරා භික්ෂුවක් මරන අදහසින් භික්ෂුවකට වහලෙන් බස්නට තැනක් දැක්වීය. එතැනින් බස්නා භික්ෂුව වැටුණේය. එහෙත් නො මළේය. එකරුණ තථාගතයන් වහන්සේට සැල කළ කල්හි නො මළ බැවින් පාරාජිකාපත්තියට නො පැමිණෙන බවත් ථුලැසි ඇවැත් වන බව වදාළ සේක.

එකල සැමියාගෙන් වෙන් ව වාසය කළ මාගමක් ගැබ් ගත්තීය. ඕ තොමෝ කුලුපග භික්ෂුවකගෙන් ගැබ් හෙළනා බෙහෙත් ඉල්ලීය. භික්ෂුව ඇයට ගැබ වැටෙන බෙහෙතක් දුන්නේය. කුස සිටි දරුවා මළේය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි බෙහෙත් දුන් භික්ෂුව පාරාජිකාපත්තියට පැමිණි බව වදාළ සේක.

එසමයෙහි වඳ කතක් භික්ෂුවකගෙන් දරුවන් ලැබීමට බෙහෙතක් ඉල්ලිය. භික්ෂුව ඇයට බෙහෙතක් දිණ. එයින් ඕ මළාය. භාග්‍යවතුන් වහන්සේ එයින් ඒ භික්ෂුවට දුකුළා ඇවැතක් වන බව වදාළහ.

එසමයෙහි එක්තරා භූතවෛද්‍ය භික්ෂුවක් යකකු මැරීය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි එයින් පාරාජිකාපත්තියට නො පැමිණෙන බවත් ථුලැසි ඇවැත් වන බවත් වදාළ සේක.

එසමයෙහි භික්ෂුවක් අන් භික්ෂුවක් මරන අදහසින් නපුරු යකුන් ඇති විහාරයකට යැවීය. යක්ෂයෝ ඒ භික්ෂුව මැරූහ. ඒ බව තථාගතයන් වහන්සේට සැල කළ කල්හි ඒ භික්ෂුවට පාරාජිකාපත්තිය වූ බව වදාළහ. එසේ යවා යකුන් විසින් නො මැරුව හොත් ථුලැසි ඇවැත් වේයයි ද වදාරා ඇත්තේය.

එසමයෙහි එක්තරා භික්ෂුවක් පින් කළ කෙනකු මරන අටියෙන් ඔහුට ස්වර්ග වර්ණනාව කෙළේ ය. ඔහු එය අසා ස්වර්ගසම්පත්තියට ආශා කොට මළේ ය. ඒ පුවත භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි ඒ භික්ෂුව පාරාජිකාවට පැමිණියේය යි වදාළ සේක.

එක් භික්ෂුවක් පව් කළ එකකු බිය ගන්වා මරනු පිණිස ඔහුට නිරයකථාව කීය. හෙතෙමේ බිය වී මළේය. ඒ පුවත භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි ඒ මහණ පාරාජිකාපත්තියට පැමිණියේ ය යි වදාළහ.

එසමයෙහි අත්පා සිඳිනු ලැබූ පුරුෂයකු වෙත ඔහුගේ ඥාතීහු රැස්ව උන්හ. එතැනට පැමිණි භික්ෂුවක් “මොහු මැරෙනවාට කැමැත්තහුදැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔවුහු “එසේය” යි පිළිතුරු දුන්හ. “එසේ නම් මොහුට මෝරු පොවව්” ය යි භික්ෂුව කීය. ඔවුහු මෝරු පෙවූහ. අත්පා සුන් තැනැත්තා මළේ ය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි ඒ භික්ෂුව පරිජි ඇවතට පත්වූයේ යයි වදාළ සේක.

(මේ කථා පාරාජිකා පාළියෙනි.)

  1. පාරා - 84 පි.

  2. පාරා - 87 පි.

  3. පාරා - 87 පි.

  4. ස.පා. – 334 පි.