1. රූපස්කන්‍ධය

1. රූපස්කන්‍ධය, ශීත-උෂ්ණාදි විරුද්ධ ප්‍ර‍ත්‍යය නිසා විපරීත භාවයට පැමිණෙන යම් පමණ ධර්‍ම සමූහයක් වේ නම් ඒ සියල්ල එක්කොට රූපස්කන්‍ධය යි දත යුතු යි. (විරුද්ධ ධර්‍මයන් නිසා විකාරවීම් අරූප ධර්‍මයන්හි ද ඇතත්, ප්‍ර‍කටව විපරීත වීමක් එහි නැති හෙයින් රූප විෂයෙහි නො ගැනේ.)

එයින් වදාළහ :- “රුප්පතිතිබො භික්ඛු තස්මාරූපන්ති වුච්චති”[1]

බ්‍ර‍හ්ම ලෝකයෙහි ශීත-උෂ්ණාදි විරුද්ධ ප්‍ර‍ත්‍යය නැත ද අනුග්‍රාහක ශීතොෂ්ණාදිය ඇති බැවින් එහි ද රුප්පන භාවය ඇති හෙයින් රූප ව්‍යවහාර වේ. මෙසේ රුප්පන ලක්‍ෂණයෙන් සියලු රූපය එකවිධ වුව ද

i. භූත රූප

ii. උපාදා රූප වශයෙන් ද්විධ වේ.

i.එහි භූත රූප පඨවි, ආපෝ, තෙජෝ, වායෝ වශයෙන් සතර වැදෑරුම් වේ.

ඒවායේ ලක්ඛණ, රස, පච්චුපට්ඨාන චතුධාතුවවත්‍ථානයෙහි කී පරිදි දත යුතු. (එහි පදට්ඨාන නො කියන ලදී.) පදට්ඨාන වශයෙන් ඒ සියල්ලම අවශේෂ ධාතු ත්‍ර‍ය පදට්ඨාන කොට ඇති. පඨවි ධාතුව ආපෝ ධාතුවෙන් සංගෘහීතවැ, තේජෝ ධාතුවෙන් පාලනය කරන ලදුවැ, වායෝ ධාතුවෙන් පුරන ලදුවැ පවතී. මෙසේ පඨවි ධාතුව සෙසු භූත ත්‍ර‍ය ආසන්න කාරණකොට පවතී. සෙසු ධාතුහු ද, අවසේස භූතයන් ආසන්න කාරණකොට පවතිත්.

උපාදාරූප (1) චක්ඛු (2) සෝත (3) ඝාණ (4) ජිව්හා (5) කාය (6) රූප (7) සද්ද (8) ගන්‍ධ (9) රස (10) ඉත්‍ථීන්‍ද්‍රිය (11) පුරිසින්‍ද්‍රිය (12) ජීවිතින්‍ද්‍රිය (13) හදයවත්‍ථු (14) කායවිඤ්ඤත්ති (15) වචීවිඤ්ඤත්ති (16) ආකාසධාතු (17) රූපයාගේ ලහුතා (18) මුදුතා (19) කම්මඤ්ඤතා (20) උපචය (21) සන්තති (22) ජරතා (23) අනිච්චතා (24) කබලීකාර ආහාරය යි සූ විස්සෙකි. (24) මොවුන් ගේ එකක් පාසා ලක්‍ෂණාදිය මෙසේ යි.

(1) චක්ඛුව - මේ චක්‍ෂුප්‍ර‍සාදය රූපාලම්බනයා ගේ ගැටීමට සුදුසු සේ මහා භූතයන් ගේ ප්‍ර‍සාදය හෝ රූප දැකීමෙහි කැමැත්ත මුල් කොට ඇති තෘෂ්ණාවෙන් යුත් කර්‍මයෙන් නිපන් මහාභූතයන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණ කොට ඇත්තේ ය. රූපාලම්බනයෙහි විඤ්ඤාණය ඇද ගැනීම එහි කෘත්‍යය ය. චක්ඛු විඤ්ඤාණයට ආධාර භාවය වැටහෙන ආකාරය, දක්නා කැමැත්ත නිදන කොට ඇති කර්‍මජභූත ආසන්න කාරණ යි.

(2) සෝතය - ශබ්දාලම්බනයේ ගැටීමට සුදුසු මහාභූතයන් ගේ ප්‍ර‍සාදය හෝ ශබ්ද ඇසීමේ කැමැත්ත නිදාන කොට පැවැති කර්‍මජ භූතයන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණ කොට ඇත්තේ ය. ශබ්දාලම්බනයෙහි විඤ්ඤාණය ඇද ගැනීම කෘත්‍යය ය. ශ්‍රෝත්‍ර‍ විඥානයට ආධාර බාවය වැටහෙන ආකාරය, ශබ්ද අසනු කැමැත්ත නිදාන කොට ඇති කර්‍මජභූත ආසන්න කාරණ යි.

(3) ඝාණය - ගන්‍ධාලම්බනයා ගේ ගැටීමට සුදුස මහා භූතයන් ගේ ප්‍ර‍සාදය හෝ ගන්‍ධාඝ්‍රාණය කිරීමේ කැමැත්ත නිදාන කොට ඇති කර්‍මජ භූතයන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණ කොට ඇත්තේ ය. ගන්‍ධාලම්බනයෙහි විඤ්ඤාණය ඇදගැනීම කෘත්‍යය ය. ඝ්‍රාණ විඥානයට ආධාර භාවය වැටහෙන ආකාරය. ගන්‍ධ ආඝ්‍රාණය කැමැත්ත නිදාන කොට ඇති කර්‍මජ භූත ආසන්න කාරණ යි.

(4) ජිව්හාව - රස ලම්බනයෙහි ගැටීමට යෝග්‍ය මහාභූතයන් ගේ ප්‍ර‍සාදය (රසය ආස්වාදනය කිරීමේ කැමැත්ත නිදාන කොට ඇති කර්‍මයෙන් නිපන් භූතයන් ගේ ප්‍ර‍සාදය) ලක්‍ෂණකොට ඇත්තේ ය. රසාලම්බනයෙහි විඥානය ඇදගැනීම එහි කෘත්‍යය ය. ජිහ්වා විඥානයට ආධාරවීම වැටහෙන ආකාරය, රසාස්වාදන කැමැත්ත නිදාන කොට ඇති කර්‍මජ භූත ආසන්න කාරණ යි.

(5) කායය - ස්පර්‍ශාලම්බනයා ගේ ගැටීමට සුදුසු මහා භූතයන් ගේ පැහැදීම හෝ ස්පර්ශ තෘෂ්ණාව නිදාන කොට ඇති කර්‍මජ භූතයන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණකොට ඇත්තේ ය. ස්පර්‍ශාලම්බනයෙහි විඥානය ඇදගැනීම එහි කෘත්‍යය ය. කාය විඥානයට ආධාර බව වැටහෙන ආකාරය ස්පර්‍ශතෘෂ්ණාවෙන් යුත් කර්‍මයෙන් නිපන් මහාභූත ආසන්න කාරණා යි.

(විඥානාධිස්ථිතවැ රූපාලම්බනය ආස්වාදය කරන්නාක් මෙන් වූයේ චක්ඛු නමි. මේ කරණකොට අසානු යි සොත නමි. මේ කරණකොට ආඝ්‍රාණය කෙරේනුයි ඝ්‍රාණ නමි. ජීවිත නිමිත්ත වූ ආහාරය (රසය) ජීවිතය යි. එය කැඳවානු යි ජිව්හා නමි. කුත්සිත (සාසව) ධර්‍මන්ට උත්පත්ති ස්ථාන වූයේ කාය නමි.)

මතභේද :- (i) මහාසඞ්ඝිකයෝ :- චක්ඛුප්පසාදය තේජෝ ධාතුව අධිකකොට ඇති භූතයන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණකොට ඇත්තේ යයි ද, සෝත-ඝාණ-ජිව්හා ප්‍ර‍සාදයෝ පිළිවෙළින් වායු-පඨවි-ආපෝ ධාතුන් අධිකකොට ඇති භූතයන්ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණකොට ඇත්තාහයි ද, කාය ප්‍ර‍සාදය සමව පැවති සතර මහාභූතයන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණකොට ඇත්තේ යයි ද කියති.

(මේ සුධම්ම[2] තෙරුන් ගේ මතය අනුවැ චක්ඛුවෙහි තේජෝ ධාතුව අධික යැයි ද, සෝත-ඝාණ-ජිව්හාවන්හි වායු-පඨවි-ආප අධික යැයි ද, කාය ප්‍ර‍සාදයේ සතරම අනුනාධික වැ පවතී යයි ද කියන ලද්දේ වේ.)

(ii) අභයගිරිකයෝ :- චක්‍ෂුඃප්‍ර‍සාදය තේජෝධාතුව අධික කොට ඇති සෙසු ධාතුන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණකොට ඇතැයි ද, සෝත-ඝාණ-ජිව්හා-කාය ප්‍ර‍සාදයෝ ක්‍ර‍මයෙන් (විවර) ආකාශ-වායු-ආප-පඨවි අධික කොට ඇති භූතයන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණ කොට ඇත්තාහයි ද, යෙති.

මෙසේ කියන ඔවුන්ට ‘එයට සාධක සූත්‍ර‍ (දෙශනා පාඨ) දැක්වුව මැනවැ’යි කිය යුතු ය. එබඳු දේශනයක් නැති හෙයින් ඔවුනට එබඳු නිදර්‍ශන දැක්විය නොහේ. එහෙත් ඔවුන් අතුරින් ප්‍ර‍ථමවාදීහු (පහන් සිළුවය යි කියන ලද) තේජෝ ධාතු ගුණය වූ ආලෝකයෙන් චක්‍ෂුඃප්‍ර‍සාදයා ගේ රූපාලම්බනය ගැනීමෙහි ද, වායෝධාතු ගුණය වූ ශබ්දයෙන් ශ්‍රෝත්‍ර‍යාගේ ශබ්දාලම්බනය ගැනීමෙහි ද, පඨවි ධාතු ගුණය වූ ගන්‍ධයෙන් ඝ්‍රාණයා ගේ ගන්‍ධාලම්බනය ගැනීමෙහි ද, බෙල නම් වූ ආපෝ ධාතු ගුණය වූ රසයෙන් දිවේ රසාලම්බනය ගැනීමෙහි ද, උපකාර කටයුතු බැවිනැයි ද යුක්ති දක්වති.

අපරවාදීහු ද සුදුසු පරිදි චක්ඛු-සෝත-ඝාණ-ජිව්හා-කායයන් ගේ රූප-ශබ්ද-ගන්‍ධ-රස-ස්පර්‍ශාලම්බන ගැනීමෙහි ද, තේජෝ-ආකාශ-වායු-ආපෝ-පඨවි ධාතුහු පිළිවෙළින් උපකාර කටයුතු බැවිනැ යි ද යුක්ති දක්වති.

(ආලෝකය සහකාරී කාරණ කොට ඇත්තාවූ ම චක්‍ෂුෂ, රූපාලම්බන ගැනීමෙහි සමර්‍ථ වේ. කන්බිලයෙහි වූ විවාරාකාශය සහකාරී කාරණ කොට ඇති ශ්‍රෝත්‍ර‍ය ශබ්දාලම්බනය ගැනීමෙහි ද, වායුව සහකාරී කාරණ කොට ඇති ඝ්‍රාණ ප්‍ර‍සාදය ගන්‍ධාලම්බනය ගැනීමෙහි ද, පෘථිවිය සහකාරී කාරණ කොට ඇති කාය ප්‍ර‍සාදය ස්පර්‍ශාලම්බනය ඉපදවීමෙහි ද සමර්‍ථවේය’යි මෙසේ ඒ ඒ භූත ගුණයන් ඇසුරු කොට චක්‍ෂුර්විඥානාදිය උපදීය යි ඔවුන් ගේ මතය යි.)

ථෙරවාදීහු :- ‘රූපාදීහු තේජාදීන් ගේ ගුණයෝයැ’යි කවුරුන් කියන ලද්දේ ද වෙන් වෙන්ව නො පවත්නා මහා භූතයන් අතුරින් මෙය මේ භූත ගුණය ය (මෙය මේ මහා භූත ගුණය යි) කිව නොහෙන හෙයිනැයි යෙති.

කේවිවාදීහු :- එතෙකුදුවුවත් ඒ චතුසමුට්ඨානික රූප පරම්පරාවෙහි ඒ ඒ භූතයා ගේ අධික බැවින් පඨවි ආදීන් ගේ සහජාත වස්තූන් ධැරීම ය, බැඳීම ය, පැසවීම ය, සැලීමය යන සතර කෘත්‍යය යුෂ්මතුනුත් කැමති වන්නා සේ තේජාදීන් අධික කොට ඇති චතුසමුට්ඨානික රූප පරම්පරාවෙහි රූපාදීන් ගේ අධික බව දක්නා හෙයින් රූපාලම්බනාදිය තේජාදීන් ගේ ගුණය යි යුෂ්මතුන් කැමති විය යුතු යැ යි යෙති.

(“ගින්නෙහි බබළන සුලු රූපය ද, සුළඟෙහි ඇසෙන සුලු ශබ්දය ද, පොළොවෙහි සුවඳ ද, දියෙහි මිහිරි රසය දැ යි මොවුන් ගේ ඒ ඒ ගුණයන් හා යෙදුණා වූ රූප ශබ්දාදිය ඇති හෙයින් ය” යනු ඔවුන් ගේ පිළිගැනීම ය.)

ථෙරවාදීහු :- ‘ආපො අධික ආසවයෙහි ගන්‍ධයට වඩා පඨවි අධික කපු පුළුනෙහි ගන්‍ධය අධික වේ නම් හෝ; තේජෝ අධික උණු වතුරෙහි වර්‍ණයට වඩා සිහිල් දියෙහි වර්‍ණය අඩු වේ නම්, රූපාදිය තේජාදීන් ගේ ගුණය යි ඇපිදු පිළිගනිමුයැ’යි මෙසේ ඒ විරුද්ධවාදීනට පිළිතුරු දුන්හ.

එහෙත් කපු පුළුනෙහි ගන්‍ධයට වඩා ආසවයෙහි ගන්‍ධය අධික හෙයින් ද, උණු දියෙහි වර්‍ණයට වඩා සිහිල් දියෙහි වර්‍ණය අඩු නො වන හෙයින් ද, හෙවත් ඒ උභය කාරණයම නැති හෙයින් ඒ මතය නො පිළිගනිති.

(රූප-ශබ්ද-ගන්‍ධ-රස-ස්පර්‍ශ විශේෂ ගුණයන් ගෙන් යුත් තේජෝ-ආකාස-පඨවි-ආප-වායූන්ගෙත් චක්ඛු-සෝත-ඝාණ-ජිව්හා-කාය ප්‍ර‍සාද සකස් කරන ලදැ යි කියන කනාද වාදයට ද මෙයින් ම නිග්‍ර‍හ කරන ලදැ යි ටීකාහි කී)

ඔවුන්ගේ වැළැක්මෙන්ම ‘චක්‍ෂුඃප්‍ර‍සාදාදිය රූපාලම්බනාදීන් ගේ හා තේජෝ ධාතු ආදීන් ගේ විශේෂ ගුණයෙකැ යි’ යන වාදය වළක්වයි. එසේ වැළැක්වීමෙන් ‘තේජෝ ධාතු ආදීන් ගේ ගුණ වූ රූපාදීන් විසින් අනුග්‍ර‍හ කළ යුතු බැවිනැ’යි යන හේතුව ද බිඳ වැටේ. එහෙයින් ‘ආශ්‍ර‍ය වූ මහාභූතයන් ගේ විශේෂයෙන් ප්‍ර‍සාද වෙතියි’ යන කල්පනාව බැහැර කරව්යැ යි යෙති.

එකම කලාපයෙහි වූ රූප ආදිය වෙනස් වේ නම් වෙන වෙන කලාපයෙහි වූ රූප-රසදිය ඒකාන්තයෙන් වෙනස් වේ මය එසේම චක්‍ෂුඃප්‍ර‍සාදාදිය අනෙක් විශේෂ කාරණයක් නැතත් ඔවුනොවුන් ගේ වෙනස වේ. කර්‍මයම එයට විශේෂ කාරණය යි. එහෙයින් ඔවුන් ගේ විශේෂයට හේතුව භූත විශේෂය නොව කර්‍ම විශේෂය යි. හුදෙක් භූත විශේෂය නම් ප්‍ර‍සාද නූපදනේ මැයි.

පෝරාණයෝ :- “සමානානංහි පසාදො නො විසමානං” ‘සමානයන්ගේ ම ප්‍ර‍සාදය වේ. විෂමයන් ගේ නොවේ ය’යි කීහ. ඒ එසේමැයි :- පෘථිවි ධාතු අධික වුව කැකුළු බව වේ. අප්ධාතු අධික වුව වැගිරේ. තේජෝධාතු අධිකවුව දවයි. වායොධාතු අධිකවුව විසිරේ. එහෙයින් ම ඒ ඒ ප්‍ර‍සාද නූපදී.

විශේෂ :- කාම භවයෙහි අණ්ඩජාදි යෝනීන්හි නා නා ක්‍ෂණික හෙයින් කර්‍ම විශේෂය වුව ද, කාමභවයෙහි ඕපපාතික යෝනියෙහි ද, රූප භවයෙහි ද එකම කර්‍මයෙන් සියලු ඉන්‍ද්‍රියයන්ගේ ම පහළ වීම වේ. රූප භවයෙහි එය විශේෂයෙන් ම වේ.

“පටිසන්‍ධික්ඛණෙ මහග්ගත චෙතනා කටත්තා රූපාන කම්ම පච්චයෙන පච්චයො”[3] ප්‍ර‍තිසන්‍ධි ක්‍ෂණයෙහි මහග්ගත චේතනාව කර්‍මජ රූපයන්ට කර්‍ම ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ ය’යි කීහ.

ඔවුනතුරෙන් චක්ඛු-සෝත දෙදෙන අසම්ප්‍රාප්ත විෂය ග්‍රාහකයෝ ය. අනල්ලීන විෂයයෙහි ම විඤ්ඤාණ උපදවන හෙයිනි. ඝ්‍රාණ - ජිහ්වා - කායයෝ සම්ප්‍රාප්ත විෂය ග්‍රාහකයෝ ය. අල්ලීනවිෂය යෙහිම විඤ්ඤාණ ඉපදීමට හේතුවන හෙයිනි.

(චක්ඛු-සෝත දෙදෙන අසම්ප්‍රාප්තාලම්බනය ම ගන්නා බවට තවද හේතු දක්වන ටීකා කාරයෝ යොදුන් ගණන් දුරෙහි වූ චන්‍ද්‍ර‍ සූර්‍ය්‍ය තාරකාදි රූපාලම්බනය අරමුණු කරන හෙයින් ද, පළිඟු වීදුරු ආදීන් අතර සිටි කල්හි ඉන් පිටත වූ රූපාලම්බනය ද අරමුණු කරන හෙයින් ද, චක්‍ෂුඃ ප්‍ර‍සාදය සම්ප්‍රාප්ත විෂය ග්‍රාහී නම් එහි ඇතුළත් විය හැකි පමණ ගත යුතු වේ. එහෙත් එයට වඩා විශාල වූ පර්‍වතාදිය අරමුණු කරන හෙයින් ද, ඇසෙහි ගෑ අඳුන් ආදිය හා ඇසෙහි හැපුණු දැය නො දක්නා හෙයින් ද, චක්‍ෂුඃ ප්‍ර‍සාදය අසම්ප්‍රාප්තාලම්බනයෙහි විඥානෝත්පාදනයට හේතුවන බව ද, ශ්‍රෝත්‍ර‍ප්‍ර‍සාදය ද සම්ප්‍රාප්ත ශබ්දායතනයන්ගේ ම ගැනීම වන්නේ නම් චිත්තජ විතක්ක විප්ඵාර ශබ්දය අරමුණු විය නොහේ. චිත්ත සමුත්‍ථාන ශබ්දය පිටත නො උපදින හෙයිනි. එසේම ඒ ඒ දිශා දේශයන්හි පවත්නා ශබ්දය අරමුණු වීමේ දී ඒ දිශා දේශයන්හි පවත්නාසේම ‘මේ ශබ්දය අසුවල් දේශයෙහි පවත්නේය යි, දේශාදිය ද, ව්‍යවස්ථානය වන හෙයින් ද, අහසෙහි වැහි වලාකුල් ආදිය අතර ඇති කල්හි මේඝ ශබ්දය ඇසෙන හෙයින් ද, ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය ද අසම්ප්‍රාප්ත ආලම්බනයෙහි විඥාන ඉපදවීමේ සමර්‍ථ බව ද නිශ්චිත ය.

i ප්‍ර‍ශ්නය :- පිටත පවත්නා ශබ්දයක් හෙවත් ඈත යමකට ගැසීමේ දී උපදනා ශබ්දය ළඟ සිටියවුන්ට එ කෙනෙහි ම ඇසෙතත් බැහැර වූවන්ට ප්‍ර‍මාද වැ ඇසීමේ හේතුව කිම? සම්ප්‍රාප්ත විෂය ග්‍ර‍හණය නිසා නොවේ ද

i පිළිතුර :- නොවේ. ශබ්දය ද රූප කලාපයෙකි. එය සිහින් වූ කල රූපකලාප අඩු වශයෙන් ද, මහත් වූ කල කලාප වැඩි වශයෙන් ද පවතී. කථා ශබ්දය මන්‍ද වුව ද, ළඟ සිටිනවුන්ට ප්‍ර‍කටව ද, බැහැර වූවන්ට අප්‍ර‍කටව ද, ඇසෙනුයේ එහෙයිනි. එසේම ශබ්දයා ගේ උත්පත්ති ක්‍ෂණයෙහි ම ළඟ සිටිනවුන්ට ඇසෙතත් දුරුවූවනට කලාප සන්තති වශයෙන් වැඩුණු ශබ්දයම ප්‍ර‍වෘත්ති අවස්ථාවෙහි (මධ්‍යම-අවසාන-අවස්ථාවන්හි) ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදයට අරමුණු වූ කල ශ්‍රෝත්‍ර‍ විඥාන වීථියෙන් ඔබ්බෙහි යම්තම් ඇසිණැයිද, කලකින් ඇසිණැයි ද හැඟීම උපදී.

ii ප්‍ර‍ශ්නය :- ශබ්දයා ගේ පරම්පරා වශයෙන් පැවැත්මක් නොවේ නම් පටිඝෝසය (දෝංකාරය) උපදිනුයේ කෙසේ ද?

ii පිළිතුර :- කාන්දම බැහැර වූ යකඩය සෙලවීමට සමර්‍ථ වන්නා සේ දුර පවත්නා ශබ්දය ද, රූපයක් හෙයින් පටිඝෝසය ඉපදවීමට ද, භාජනාදිය සෙලවීමට ද, සමර්‍ථ වේ. මේ ද ටීකාගත විස්තරය.

(පෙර ලක්‍ෂණාදි වශයෙන් විස්තර කරන ලද්දා වූ චක්‍ෂුරාදිය නැවත පිහිටීම් ආදීන් විස්තර කරනුවෝ ඒ පඤ්ච උපාදා රූපයන් අතුරින්)

(i) චක්‍ෂුඃප්‍ර‍සාදය නිල්වන් ඇසිපිය රෝමයෙන් අවටින් ගැවසී ගත් කෘෂණ-ශුක්ල මණ්ඩලයෙන් විසිතුරු වූ නිල් මහනෙල් මල් පෙත්තක් බඳු වූ සම්භාර චක්‍ෂුෂ්හි (ඒ ඇස් ගඩුවෙහි) ශ්වේත මණ්ඩලයෙන් වට වූ කෘෂ්ණ මණ්ඩලය මධ්‍යයෙහි, ඉදිරියෙහි සිටියවුන් ගේ ශරීර සටහන උපදින තැන මතු මත්තෙහි තබන ලද පුළුන් පෙද සතක වත් කළ තෙල් බින්දුවක් ඒ පුළුන් පෙද සතෙහිම පැතිරී සිටුනා සේ ඇසෙහි වූ පටල සතෙහිම පැතිර වැඩීම ද, නැහැවීම ද, සැරසීම ද, පවන් සැලීම ද, කරන කිරිමවුන් සිවුදෙනක විසින් වඩන කැත් කුමරකු සේ දැරීම ය, බැඳීම ය, මිහිකිරීම ය, සැලීම ය යන සතර කෘත්‍යයක් ඇති එහි පැතිර සිටි සතර ධාතුන් විසින් උපකාර කරන ලදුවැ උතු-චිත්ත-ආහාරයන් විසින් උපස්තම්භ කරන ලදුවැ ජීවිතින්‍ද්‍රිය විසින් රක්නා ලදුවැ වර්‍ණ, ගන්‍ධ, රස, ඕජාවන් විසින් පිරිවරන ලදුව උකුණු හිසක් පමණ වූ ප්‍රදේශයෙහි පවත්නේ චක්‍ෂුර් විඥාන සිත් දෙකට චක්‍ෂුර්‍වස්තු භාවය ද, ආවජ්ජන - සමපටිච්ඡන-සන්තිරණ - ජවන - තදාලම්බනයනට ද්වාරභාවය ද සිද්ධ කෙරෙමින් සිටුනේ යි.

එමැ කීහ.

“යෙන චක්ඛුප්පසාදෙන - රූපානි මනුපස්සති

පරිත්තං සුඛුමං එතං - ඌකා සිරසමූපමං”[4]

‘රූපාලම්බනය දක්නා ඒ චක්‍ෂුඃප්‍ර‍සාදය ඉතා කුඩා ය. උකුණු ඉසක් පමණ වේ.’

විශේෂ : ප්‍ර‍සාදරූපය වූ කලී මනොද්වාර ගෝචර වූ ප්‍ර‍සාද මාත්‍ර‍ය ය. එය ප්‍ර‍මාණත්‍වයෙන් ගිණිය නො හැකි වුව ද, එයට නිශ්‍ර‍ය අවිනිර්‍භොග රූප හා ජීවිතින්‍ද්‍රිය ද, ඇතුළු රූප කලාපයන් ගෙන මෙහි ප්‍ර‍මාණය කීහයි ද, හෙද එහි අක්‍ෂි පටල සතේ පැතිරීමෙන් කුඩා දේ මහත් කොට පෙනෙන වීදුරු වලින් මෙන් එසේ මහත්ව පෙන්වතැ යි ද සිතිය හැක්ක.

(“ඒ චක්‍ෂුස් තෙමේ අධිට්ඨාන භේදයෙන් ද, එහිදු ප්‍රත්‍යෙකයෙන් අනේක කලාපගත බැවිනුදු අනේක වූයේ ද, සාමාන්‍ය නිර්දේශයෙන් ඒක ක්‍ෂණයක එකම කෘත්‍යයක් කරනු බැවිනුදු, එකක් කොට කියන ලදී.” (යනු සත්‍යයි)

(2) ශ්‍රෝත්‍ර‍ප්‍ර‍සාදය සම්භාර සෝත ඛිලය තුළ තුනී වූ තඹවන් රෝමයෙන් ගැවසීගත් ඇඟිලි මුදුවකට බඳු සටහන් ඇති පෙදෙසෙහි යට චක්‍ෂුඃප්‍ර‍සාදයෙහි කී පරිදි ධාතුන් විසින් කරන ලද උපකාර ඇතිවැ, සෘතු චිත්ත - ආහාරයන් විසින් උවටැන් කරන ලදුවැ, වර්‍ණාදීන් පිරිවරන ලදුව සෝත විඤ්ඤාණාදි සිත්වලට සුදුසු වස්තු-ද්වාර භාවය සිදු කෙරෙමින් සිටී.

(3) ඝ්‍රාණ ප්‍ර‍සාදය සසම්භාර ඝ්‍රාණ ඛිලයෙහි ඇතුළත එළු කුරයක සටහන් ඇති පෙදෙසෙහි යට කී පරිදි උපකාර - උපස්තම්භ - අනුපාලන - පරිවාර ලැබ ඝ්‍රාණ විඥානාදියට වස්තු - ද්වාර භාවය සිදුකෙරෙමින් සිටී.

(4) ජිහ්වා ප්‍ර‍සාදය සම්භාර ජිහ්වායෙහි මැද මතුපිට උපුල් පතෙක අගට බඳු සටහන් ඇති පෙදෙසෙහි යථෝක්ත උපකාර-උපස්ථම්භ-අනුපාලන-පරිවාර ලැබ ජිහ්වාවිඥානයට වස්තු - ද්වාර භාවය සිදුකෙරෙමින් සිටී.

(5) කායප්‍ර‍සාදය මේ ශරීරයෙහි කර්‍මජ තේජෝ ධාතුව (ජඨරාග්නිය) පැතිර පවත්නා ස්ථානය හා කෙස්-ලොම්-නිය-අක් හා වියළි සම්දැ යි මෙතෙක් දෑ හැර කර්‍මජ රූප පවත්නා අනෙක් මුළු ශරීරයෙහි කපු පුළුන් පෙදක වත්කළ තල තෙලක් සේ කායවිඥානාදියට වස්තු - ද්වාර භාවය සිදුකෙරෙමින් සිටී.

විශේෂ :- චක්ඛුප්පසාදාදියෙහි ද මේ කායප්පසාදය ඇත ද, ඒ ඒ ප්‍ර‍සාදයන්ට නිඃශ්‍ර‍ය වූ භූත රූපයන් ගේ වෙනස් වෙනස් ලක්‍ෂණ ඇති හෙයින් නො ගැනේ.

විස්තර :- සසම්හාර චක්ඛු නම් මස් ගඩුවෙහි උපකරණ වශයෙන් සතර මහා භූතය, වණ්ණය, ගන්‍ධය, රසය, ඕජාව, සම්භවය, සණ්ඨානය, ජීවිතය, භාවය, කායප්‍ර‍සාදය, චක්‍ෂුඃප්‍ර‍සාදය යන කොටස් තුදුසෙක් (14) වෙයි.

ශ්‍රෝත්‍රාදියෙහි ද මේ තුදුස් ධර්‍මයෝ ම වෙත්. මේ සංක්‍ෂේපයෙහි ලා අවිනිර්‍භොග රූප අට හා සම්භව සන්ඨාන ද චතුසමුට්ඨානික වශයෙන් ගෙන සතලිසෙක් (40) වේ. කර්‍මජ වූ කාය-භාව-ජීවිත-රූප හා ඒ ඒ ප්‍ර‍සාද ද සමග සුසාලිසෙකි (44) උපකරණ නම් මේ ය.

වත්‍ථුද්වාරභාවය, චක්ඛුප්පසාදාදි පඤ්චප්පසාදයෝ චක්ඛු විඤ්ඤාණාදි විපඤ්ච විඤ්ඤාණයන්ට පිහිටීමට උපකාර වීමෙන් වත්‍ථුභාවය හා සමපටිච්ඡනාදි සෙසු විථිචිත්තයන්ට ද නිශ්‍ර‍ය වීමෙන් ද්වාරභාවය ද සිදු කෙරේ.

තවද චක්‍ෂුඃප්‍ර‍සාදය විෂම අදහස් ඇති බැවින් තුඹස් සිදුරක ඇලුණු සර්‍පයකු මෙන් ද, ශ්‍රෝත්‍ර‍ප්‍ර‍සාදය බිලාධ්‍යාශය ඇති බැවින් ගැඹුරු ජලයෙහි බිලයක වෙසෙන කිඹුලකු මෙන් ද, ඝ්‍රාණප්‍ර‍සාදය ආකාශධ්‍යාශය ඇති බැවින් අජටාකාශයෙහි ඇලුණු උකුස්සකු මෙන් ද, ජිහ්වාප්‍රාසාදය ග්‍රාම්‍යාධ්‍යාශය ඇති බැවින් ග්‍රාමයෙහි ඇලුණු සුනඛයකු මෙන් ද, කායප්‍ර‍සාදය උපාදින්නක ශරීරයෙක ස්පර්ශ ගැනීමේ අදහස් ඇති බැවින් අමුසොහොනෙහි ඇලුණු ශෘගාලයකු මෙන්දැ යි, මේ පඤ්චප්‍ර‍සාද තම තමා අයත් ගෝචරයට නැමුණු අයුරු සලකා මෙසේ උපමා විසින් දතයුතු.

විශේෂ :- චක්ඛුප්පසාදාදි රූප ධර්‍මයෝ ඒවා අයත් පුද්ගලයා ගේ අදහස් විසින් විසම අදහස් ඇත්තෝ වෙති. ඨානූපචාර විසින් මෙසේ කී.

විෂය රූප

(6) රූපාලම්බනය :- චක්‍ෂුඃප්‍ර‍සාද රූපයෙහි ගැටීම ලක්‍ෂණ කොට ඇත්තේ ය. චක්‍ෂුඒවිඥානයට ආලම්බන වීම නොහොත් ආලම්බන වීමේ ගුණය කෘත්‍යය කොට ඇත්තේ ය. චක්ඛුවිඤ්ඤාණයට ගෝචර භාවයෙන් වැටහෙන ස්වභාව ඇත්තේ ය. සතර මහාභූත ආසන්න කාරණ කොට ඇත්තේ ය. (මෙසේ සියලු උපාදා රූපයෝ සතර මහාභූත ආසන්න කාරණ කොට ඇත්තාහ. එසේ නො පවත්නා තන්හි ඒ වෙසෙසා කියනු ලැබේ.) මේ රූපාලම්බනය නීල පීතාදි වශයෙන් නන් වැදෑරුම් වේ.

(7) ශබ්දාලම්බනය :- ශ්‍රෝත්‍ර‍ප්‍ර‍සාදයෙහි ගැටීම ලක්‍ෂණ යැ. ශ්‍රොත්‍ර‍ විඥානයට විෂය වීම කෘත්‍ය යැ. එයට ගොදුරු වීම වැටහෙන ස්වභාවය යැ. බෙර හඬය, මිහිඟු බෙර හඬය ආදීන් ශබ්දය අනේකාකාරයි.

(8) ගන්‍ධාලම්බනය :- ඝ්‍රාණප්‍ර‍සාදයේ ගැටීම එහි ලක්‍ෂණ යැ. ඝ්‍රාණ විඥානයට විෂය වීම කෘත්‍යය යැ. එයට ගොදුරු වීම වැටහෙන ආකාරය යැ. මූලගන්‍ධය - සාරගන්‍ධය යනාදීන් ගන්‍ධය නානාවිධ යි.

(9) රසාලම්බනය :- ජිහ්වා ප්‍ර‍සාදයෙහි හැපීම ලක්‍ෂණකොට ඇත්තේ ය. ජිහ්වා විඥානයට ගෝචරවීම එහි කෘත්‍යය යැ. ජිහ්වා විඥානයාගේ පැවැත්මට ස්ථාන භාවය වැටහෙන ආකාරය යැ. මූලරසය බන්‍ධරසය යනාදීන් රසය අනේකවිධයි.

ස්පර්‍ශාලම්බනය :- කාය ප්‍ර‍සාදයෙහි ගැටීම ලක්‍ෂණය යැ. කාය විඥානයට විෂය වීම කෘත්‍යය යැ. කාය විඥානයට ගොදුරුවීම වැටහෙන ආකාරය යැ. ආපොවර්ජිත භූතත්‍ර‍ය ආසන්න කාරණ යැ. (ආපො ධාතුව ශීතස්පර්‍ශවත්යැ[5] යි මතාන්තරයෙකි. ඒ නො යෙදේ. තේජෝ ධාතුව අඩුවූ කල සීතල සේ දැනෙන හෙයිනි. ‘ස්පර්‍ශ කරන්නහු ගේ ශරීරයේ උෂ්ණයට ස්පර්‍ශ කරන දැයෙහි උෂ්ණය අධික වූ කල උෂ්ණයයි ද, එයට අඩු වූ කල සීතයයි’ ද දැනීම වේ. තවද සීත උෂ්ණ දෙක එකවිට නො දැනෙන හෙයින් තේජෝ ධාතුහුගේ ම ඌනත්‍වය සීතල බව පැහැදිළි ය.) මෙය පඨවි තේජෝ වායෝ ධාතුන් හෙයින් විශේෂයෙන් නොගැනේ.

(10) ඉත්‍ථින්‍ද්‍රිය :- ‘මෝ ස්ත්‍රීයැ’යි දැනීමට හා ස්ත්‍රීය යන නාමය ඇතිවීමට හේතුවූ බව් ලක්‍ෂණ කොට ඇත්තේ ය. මේ ස්ත්‍රීයැ යි ප්‍ර‍කාශවීම කෘත්‍යය යැ. i ස්ත්‍රී ලිඞ්ගය, ii නිමිත්තය, iii කෘත්‍යය, iv ආකල්පය යන මොවුන්ට හේතු භාවය නුවණට වැටහෙන ආකාරය යි. (මෙයම යට කී සේ ස්ත්‍රිය යි දැනගන්නා නුවණට හා ස්ත්‍රිය යන ශබ්දයට හේතුව වනබැවින් ස්ත්‍රීභාව නමුදු වේ.)

i වටවූ උකුළු හා මෘදු අත්-පා ආදිය ඇති බව හෝ ස්ත්‍රීන් ගේ මූත්‍ර‍ කරණය හෝ ලිඞ්ග නමි.

ii සන්නාදි ස්ත්‍රී බව් දැක්වෙන ලකුණු හෝ අනුරාගාදි අදහස් ස්ත්‍රී නිමිත්ත නමි.

iii ළදරු කල පටන් කුළු ආදියෙන් ක්‍රීඩා කිරීම ආදිය හෝ කෑම් බීම් ආදිය ස්ත්‍රී කෘත්‍ය යැ.

iv අවිසද ගමන් බිමන් ආදි ආකාරය හෝ ස්වරූපය ස්ත්‍රී ආකල්ප ය.

ප්‍ර‍ශ්න :- ස්ත්‍රී ලිඞ්ගාදීහු කර්‍මාදි තම තමා අයත් ප්‍ර‍ත්‍යයයෙන් හටගන්නාහු නො වෙද්ද, කුමක් හෙයින් ලිඞ්ගාදියට කාරණභාවය (පච්චුපට්ඨාන) වැටහෙන ආකාර භාවයෙන් කීයේ ද

පිළිතුර :- කර්‍මයෙන් උපදිතත් ස්ත්‍රීභාව සහිත ස්ථානයෙහිම ඒ ඒ ආකාරයෙන් උපදනා හෙයින් ස්ත්‍රීන්‍ද්‍රිය ඔවුනට නිමිති වේ. එහෙයින් ලිඞ්ගාදිය ස්ත්‍රීන්‍ද්‍රියයා ගේ පච්චුපට්ඨානය යි කියන ලදී.

ප්‍ර‍ශ්න :- කුමක් හෙයින් ස්ත්‍රීභාවය ස්ත්‍රීන්‍ද්‍රිය යි කියන ලද ද

පිළිතුර :- ස්ත්‍රී ලිඞ්ගාදීන් කෙරෙහි ම කාරණාභාව සඞ්ඛ්‍යාත අධිපති භාවයෙන් ස්ත්‍රී භාවයා ගේ ඉන්‍ද්‍රිය භාවය කියන ලදී. භේද ස්ත්‍රීන්‍ද්‍රිය සහිත සන්තානයෙහි ස්ත්‍රීලිඞ්ගාදි ආකාර වූ රූප ප්‍ර‍ත්‍යයයන් අන් ආකාරයකින් නූපදනා හෙයින් හා ස්ත්‍රිය යි ගැනීමට ඒ රූපයන් ප්‍ර‍ත්‍යය යන බැවින් දැ යි මෙසේ ඉන්‍ද්‍රිය භාවය වදාරන ලදි.

ප්‍ර‍ශ්න :- එහෙත් පට්ඨාන පාළියෙහි එයට ඉන්‍ද්‍රියාදි ප්‍ර‍ත්‍යය භාවය කුමක් හෙයින් නො වදාළේ ද

පිළිතුර :- භාව දසක කලාපයෙහි වූ ස්ත්‍රීන්‍ද්‍රියය ද, රූප නොඋපදවන්නේ ය. පාලනය ද නොකරන්නේ ය. උපස්තම්භක ද නොවන්නේ ය. අන්‍ය කලාපගත රූපයන්ට ද, ජනක-පාලක-උපස්තම්භක නොවන්නේ ය. එහෙයින් කලාපගත රූපයන්ට ජීවිතින්‍ද්‍රියය මෙන් ද, අන්‍ය කලාපගත රූපයන්ට ආහාරය මෙන් ද, ඉන්‍ද්‍රිය - අසති - අවිගත - ප්‍ර‍ත්‍යය වන්නේ ය”යි නො වදාරන ලදි.

(11) පුරිසින්‍ද්‍රිය :- මේ පුරුෂයායැ යි ශබ්ද-බුද්ධීන්ට කාරණ බව ලක්‍ෂණ යැ. පුරුෂයායැ යි ප්‍ර‍කාශවීම කෘත්‍යය යැ. පුරුෂ ලිඞ්ග නිමිත්ත-කෘත්‍ය වේශය යන මොවුන්ට කාරණභාවය වැටහෙන ආකාරය. (මෙහි විස්තර ස්ත්‍රීන්‍ද්‍රියයට විසදෘශ පක්‍ෂයෙහි වේ.)

විශේෂ :- මේ රූපද්වයය එකම සන්තානයෙහි එකවට නො පවත්නේ ය. “යස්ස ඉත්‍ථින්‍ද්‍රියං උපපජ්ජති තස්ස පුරිසින්‍ද්‍රියං උප්පජ්ජති නො”යි ස්තීන්‍ද්‍රිය උපන්නහුට පුරිසින්‍ද්‍රිය නූපදනා බව පැවසේ.

එහෙයින් උභතෝබයඤ්ජනකයාට පවා එක ලිඞ්ගයක් අතුරුදහන් වූ පසු අන්‍ය ලිඞ්ගය පහළ වේ.

මතභේද :- ඇතැම් කෙනෙක් ‘භාව රූප ශරීරයෙහි ඒක දේශයක පවතී ය’යි කියත්. එය එසේ නොවේ. ඒ ‘දෙකම කාය ප්‍ර‍සාදය මෙන් සකල ශරීරය පැතිර පවතී.’ එහෙත් ‘කාය ප්‍ර‍සාදය සිටි තන්හි හෝ නො සිටි තන්හි හෝ පවතී ය’යි කිව නොහේ. භින්නනිශ්‍ර‍ය හෙයිනි.

කුමක් මෙන් ද යත්:

එකෙකී කලාපයෙහි පිහිටි රූප රසාදිය ලක්‍ෂණ වශයෙන් වෙනස් හෙයින් ඔවුනොවුන් මිශ්‍ර‍ නොවන්නාක් මෙනි. (මෙසේ සමාන නිශ්‍ර‍ය හෙවත් එකම පෘථිවි ධාතුවක් ආශ්‍ර‍ය කොට පවත්නා රූප රසාදිය ද ලක්‍ෂණ වශයෙන් වෙනස් හෙයින් මිශ්‍ර‍ නොවේ නම්, භින්න නිශ්‍ර‍ය හෙවත් ආධාර වූ පෘථිවි ධාතුව ද වෙනස් හෙයින් භින්න ලක්‍ෂණ වූ කාය ප්‍ර‍සාද, භාව රූපයන් ගේ සංකරය (මිශ්‍ර‍ණය) නොවේම ය.

(12) ජීවිතින්‍ද්‍රිය :- තමා හා එක්වැ උපන් රූපයන් පාලනය කිරීම ලක්‍ෂණ යැ. ඒ සහජාත රූප පැවැත්වීම කෘත්‍යය යැ. ඔවුන් ගේ ම සිටුවීම වැටහෙන ආකාරයැ. තමා විසින් පැවැත්විය යුතු භූතයන් ම ආසන්න කාරණයැ යි.

(ජීවිතින්‍ද්‍රිය කර්‍මජ හෙයින් සහජාත රූප ද කර්‍මජම යත තමා අයත් ක්‍ෂණ මාත්‍ර‍යක් සිටුනා කර්‍මජ රූපයන්ට ජීවත්වීමට හේතුවීමෙන් ම ඒ පාලනය කිරීම ජීවිතින්‍ද්‍රියයේ ලක්‍ෂණ යැ.)

ප්‍ර‍ශ්න :- ආහාරජ රූපයනට ආහාරය මෙන් කර්‍මජ රූපයනට කර්‍මය පැවැත්මට හේතු විය යුතු නොවේ ද

පිළිතුර :- ආහාරාදීහු තම තමා ඇති ක්‍ෂණයෙහි රූප උපදවා ඒවායේ පැවැත්මට ද හේතුවෙත්. (පියා රැකීමට සිටුනා පුත්‍ර‍යා සුළු පිය ආදීන් ගැන අපේක්‍ෂා නො කරන්නාක් මෙනි.) ජලය උපුල් ආදිය රක්නාක් මෙන් අනුපාලනය කටයුතු රූප ඇති කල්හිම ජීවිතින්‍ද්‍රිය සහජාත රූප පාලනය කරන්නේ ය. කිරි මවු, අන්‍යයන් ප්‍ර‍සව කළ රජ කුමරුවකු රක්නා සේ තමා අයිති යම් යම් කර්‍මයෙන් හටගත් කර්‍මජ රූපයන් ජීවිතින්‍ද්‍රිය ආරක්ෂා කරන්නේ ය.

ප්‍ර‍ශ්න :- කර්‍මජ රූපයන් ගේ පැවැත්වීමට හේතු වූ ජීවිතින්‍ද්‍රියය කර්‍ම යෙන් තොරව කෙසේ පවත්නේ ද,

පිළිතුර :- නැව පදින්නා වූ නැවියා තමා විසින් පදින නැව හා සම්බන්ධව ම අභිමත ස්ථානයට පැමිණෙන්නාසේ, තමා විසින්ම රක්නා ලද සහජාත ධර්‍මයන් ගේ බලයෙන් පවත්නේ යි.

ප්‍ර‍ශ්න :- කර්‍මජ රූපයන් ගේ පැවැත්ම ජීවිතින්‍ද්‍රිය ප්‍ර‍තිබද්ධ නම් සියලු කල්හි නො පවත්නේ කවර හෙයින් ද

පිළිතුර :- තමා ගේ හා පාලනය කළ යුත්තන් ගේ ද අභාවයෙනි.

ප්‍ර‍ශ්න :- භඞ්ගක්‍ෂණයෙහි නො පැවැත්විය හැක්කේ කුමක් හෙයින් ද

පිළිතුරු :- අවසන් වූ පහන්වැටියට තෙල් ඇත්තාවූ ද, පහනෙහි සිළුව පැවැත්විය නො හැක්කා සේ, ජීවිතේන්‍ද්‍රිය ය භඞ්ගක්‍ෂණයෙහි බිඳෙන හෙයිනි. එසේ භඞ්ගක්‍ෂණයෙන් මත්තෙහි නො යැපිය හැකි වුව ද, පරම්පරාව රැකීම ය, යැපීම ය, ජීවත්වීමය, සිටුවීම ය, පිහිටුවීම ය, යන මොහු අනුභාවයෙන් තොර නො වන්නාහ. කියන ලද යම් යම් ක්‍ෂණයෙක්හි ඒ ඒ රූප පරම්පරාව ආරක්‍ෂා කිරීම ය, යැපීම ය, ජීවත්කර වීම ය, යනාදි කෘත්‍ය සිද්ධ කරන හෙයිනි.

(ඉන්‍ද්‍රිය ප්‍ර‍තිබද්ධ රූපයා ගේ හා මළවුන් ගේ රූපයේ වෙනස ද ජීවිතින්‍ද්‍රිය හා සම්බන්ධ වූ කර්‍මජ රූපයා ගේ හා උතුසමුට්ඨානාදි රූපයේ වෙනස ද, ජීවිතින්‍ද්‍රිය විසින් කරන ලදී. හුදෙක් ජීවිතින්‍ද්‍රිය ක්‍ෂණ ස්ථිතියට හේතු නොවේ. රූප පරම්පරාව නො සිඳ පැවැත්මට ද හේතු වන්නේ ය. ක්‍ෂණ ස්ථිතියට ම හේතු වේ නම් ආයුක්‍ෂය මරණය නො යෙදෙන්නේ ය. (ආයු නම් ජීවිතින්‍ද්‍රිය ය) තමා හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් ජීවත්වීමට උපකාර වන හෙයින් ජීවිත නම් වේ. පියුම් දණ්ඩෙහි සිදුර වූ ජලය, ජලයෙන් මතු වූ පියුම වියළී යා නොදී රක්නා සේ කර්‍මජ රූප තමා පවත්නා කාලය තුළ ආරක්‍ෂා කරන හෙයින් රටවැස්සා කෙරෙහි ඊශ්වරත්වය පවත්වා ආරක්‍ෂා කරන පෘථිවීශ්වරයකු සේ කර්‍මජ රූපයන් ඊශ්වරත්‍වයෙන් රක්නා හෙයින් ජීවිතින්‍ද්‍රිය නමුදු වේ. මෙය ජඨරාග්නිය හා කෙස්, ලොම්, නිය අක් හා වියළි සම් ය යන මේ ස්ථාන හැර ඉතිරි මුළු සිරුරැ පැතිරී සිටී.)

(13) හදයවත්‍ථු :- මනෝධාතු, මනෝවිඤ්ඤාණධාතුන්ට නිඃශ්‍ර‍ය වීම මෙහි ලක්‍ෂණ යැ. ඒ ධාතු ද්වයට ආධාර වීම කෘත්‍යය යැ. එය ධැරීම වැටහෙන ආකාරය යි.

විස්තර :- සප්ත විඥනයන් අතුරෙන් දෙපස් විඤ්ඤාණයෝ පඤ්චප්පාසාද වත්‍ථූන් නිසා පවත්නා හ. මනෝධාතු - මනෝවිඤ්ඤාණ ධාතුද්වය හෘදය වස්තුව නිසා පවතී. ඒ හෘදය වස්තුව වනාහි යට කායගතාසති නිර්දේශයෙහි කීසේ හෘදය මාංසය ඇතුළත පවත්නා ලෙය ඇසුරු කොට සතර මහා භූතයන් විසින් සන්‍ධාරණාදි කෘත්‍යයෙන් කරන ලද උපකාර ඇතිවැ, සෘතු, චිත්ත, ආහාරයන් විසින් උවතඹ කරන ලදුවැ, ජීවිතේන්‍ද්‍රිය විසින් ආරක්ෂා කරන ලදුවැ මනොධාතු-මනොවිඥාන ධාතුන්ට හා ඒ හා සම්ප්‍ර‍යුක්ත චෛතිකයනට නිශ්‍ර‍ය වස්තු බව සිද්ධ කරමින් පවතී. (මේ ටීකාගත විස්තරයෙකි)

ප්‍ර‍ශ්න :- ඒ බව කෙසේ දතහැකි වේ ද

පිළිතුර :- ආගම නයින් හා යුක්ති විසින් ද දතහැකි වේ.

‘යම් රූපයක් නිසා මනෝධාතු - මනෝවිඤ්ඤාණධාතු’ පවතී නම් ඒ රූපය ඒ ධාතුද්වයට ද, තත් සම්ප්‍ර‍යුක්ත චෛතසිකයනට ද නිඃශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ.’

“යං රූපං නිස්සාය මනෝධාතු-මනෝවිඤ්ඤාණධාතුච වත්තන්ති තං රූපං මනොධාතුයා මනෝවිඤ්ඤාණධාතුයාච තං සම්පයුත්තකානඤ්ච ධම්මානං නිස්සය පච්චයෙන පච්චයො”[6] යි මේ ය ආගම නම්.

ප්‍ර‍ශ්න :- මනෝධාතු - මනෝවිඤ්ඤාණධාතුන්ට නිශ්‍ර‍ය වූ හෘදය වස්තු රූපයෙක් වේ නම් කුමක් හෙයින් දම්සඟුණු පෙළෙහි නො වදාළ සේක් ද?

පිළිතුර :- එහි නො වැදෑරීම අන්‍ය කාරණයෙකිනි.

ප්‍ර‍ශ්න :- ඒ කවරේ ද

පිළිතුර :- දේශනා භේදය හෙයිනි

ඒ මෙසේයි:- වස්තු දුකාදි දේශනාව නිඃශ්‍රිතයන් ගේ වශයෙන් පැවැත්නේ ය. මනෝවිඤ්ඤාණධාතුව ඒකාන්තයෙන් හෘදය වස්තු රූපය නිසාම නො පවතී. “අත්‍ථි රූපං චක්ඛු විඤ්ඤාණස්ස වත්‍ථු, අත්‍ථි රූපං චක්ඛු විඤ්ඤාණස්ස න වත්‍ථු”[7] ‘චක්ඛු විඤ්ඤාණයට වස්තු වූ රූපයක් ඇති, චක්ඛු විඤ්ඤාණයට වස්තු නොවූ රූපයක් ද ඇති, යනාදි විසිනි. මේ අනුව “අත්‍ථි රූපං මනොවිඤ්ඤාණස්ස වත්‍ථු” මනොවිඤ්ඤාණයට වස්තු වූ රූපයක් ඇත, යනාදීන් වස්තු දුකාදිය කියනු ලබන කල එයට අනුකූල සේ ආරම්මණ දුකාදිය නො යෙදේ. ඒ මෙසේ යි. “අත්‍ථි රූපං චක්ඛු විඤ්ඤාණස්ස ආරම්මණ අත්‍ථිරූපං චක්ඛු විඤ්ඤාණස්ස න ආරම්මණං”2 යි ‘චක්ඛු විඤ්ඤාණයට ආරම්මණ වූ රූපයක් ද, චක්ඛු විඤ්ඤාණයට ආරම්මණ නොවූ රූපයක් ද ඇතැයි, මෙසේ විපඤ්ච විඤ්ඤාණයට ආරම්මණ වූ ද, ආරම්මණ නොවූ ද, රූප වදාළ සේක. “අත්‍ථි රූපං මනො විඤ්ඤානස්ස ආරම්මණං අත්‍ථි රූපං න මනො විඤ්ඤාණස්ස ආරම්මණං” යි ‘මනො විඤ්ඤාණයට ආලම්බණ වූ රූපයක් ඇති. මනොවිඤ්ඤාණයට ආලම්බන නො වූ රූපයක් ඇතැයි ද, මෙසේ නො වදාළ හැකි හෙයින් වස්තු ආලම්බන දුක වෙනස් ස්වරූප වන හෙයින් නො වදාළහ. එසේ වන්නා දේශනාව භින්න ගතික වේ. මෙතන්හි වූ කලී සදෘශ කෘත්‍යය ඇති දේශනාව වැදෑරීම ශාස්තෘන් වහන්සේ ගේ අදහස යැ. එහෙයින් “ධම්මසඞ්ගණී” රූප කාණ්ඩයෙහි හෘදය වස්තු රූපය නො වදාළහ.

මේයැ යුක්තිය පඤ්ච වෝකාර භවයෙහි මනෝධාතු - මනෝවිඤ්ඤාණ ධාතුවය උපාදා රූප වූ හෘදය වස්තු රූපය නිසාම පවත්නේ ය.

චතුවෝකාර (ආරුප්ප) භවයෙහි මනොවිඤ්ඤාණ ධාතුව හෘදය වස්තු රූපය නැතිව ම පවත්නේ යි. එහි රූප නැති හෙයින් මනෝධාතුව (චතුවොකාර භවයෙහි) නොපවත්නේයි. එයිනුදු වස්තු දුකයා ගේ විසදෘශ භාවය ද වේ. චක්ඛු විඤ්ඤාණාදියට නිශ්‍ර‍ය වන හෙයින් මනෝධාතු - මනෝවිඤ්ඤාණධාතු ද්වය චක්‍ෂුඃප්‍ර‍සාදාදිය ඇසුරු කොට නො පවත්නේ යි. රූපාදි පඤ්චාලම්බනයන් බාහිරයෙහි ද පවත්නා හෙයින් ඔහු ද මනෝධාතු - මනෝවිඤ්ඤාණධාතුන්ට නිශ්‍ර‍ය නොවෙත්. ජීවිතේන්‍ද්‍රිය ද, තමා හා සම්ප්‍ර‍යුක්ත රූප කලාපයන් පාලනය කිරීමෙහි දී පවත්නා හෙයින් මේ ධාතු ද්වය ජීවිතෙන්‍ද්‍රිය නිශ්‍ර‍ය කොට ද නො පවත්නේ යි.

ස්ත්‍රීභාව-පුරුෂභාව රූප ද ආදිකල්පික බ්‍ර‍හ්ම (අභාවක සත්ත්‍ව) යන් විෂයෙහි ද නො පවත්නා හෙයින් මේ ධාතු ද්වය භාවරූපයන්හි ද නො පවත්නේ ය. මෙසේ වන්නා මෙකී ස්ථානයන්ගෙන් පිටත් යම්කිසි උපාද රූපයක් ඇසුරින් මේ ධාතු ද්වය පැවැතිය මනා ය. එසේ ද වුවත් ධම්සඟුණු රූප කාණ්ඩයෙහි ‘වස්තු - ආලම්බන’ දුකයන් ගේ පෙර කී සේ විසදෘශත්‍වය හේතුකොට නො වදාළහ. චිත්ත - චෛතසිකයන් වාසය කරන අර්ථයෙන් ම මේ හෘදය රූපය වස්තු නම් වේම ය. වස්තු භාවය ලබනුයේ සිතට ආශ්‍ර‍ය වන්නෝම ය.[8]

(14) කාය විඤ්ඤත්ති රූපය :- ඉදිරියට යාම, ආපසු ඊම, අත් පා දිග හැරීම, හැකිළීමාදි කායික ක්‍රියාවන් පවත්වන්නා වූ සිත නිසා පැවැති වායෝ ධාතුව හා එක්වැ හටගන්නා වූ රූප කායයට රුකුල් දීමෙන් සැලීම්-පිහිටුවීම් ආදි ඒ ඒ ක්‍රියාවන් උපදවන්නා වූ ආකාර විශේෂය කාය විඤ්ඤත්ති නම. යම් ආදි ක්‍රියාවකදී සැලෙන කාය ප්‍ර‍දේශයක් දැකීමෙන් පිටත සිටිනවුනට ‘මේනම් දෙයක් කරතැ’යි දැනීමක් ඇතිවනුයේ කාය විඤ්ඤත්තිය නිසා ය. ඒ වූකලි වායො ධාතු අධිත චිත්තජ මහාභූතයන් ගේ සාමර්ථ්‍යය නිසා හට ගැනේ. අභිප්‍රාය ප්‍ර‍කාශ කිරීම මෙහි කෘත්‍යය යැ. කාය විස්ඵන්‍දනයට හේතුභාවය වැටහෙන ආකාරය යැ. චිත්ත සමුඨාන වායෝ ධාතුව ආසන්න කාරණය යැ. (කාය චලනය අදහස හැඟවීමට හේතුවන බැවින් ද, තමා ම ඒ කාය චලන සංඛ්‍යාත කයින් දතයුතු වන බැවින් ද කායවිඥපති යැ යි කියනු ලැබේ.)

(15) වචීවිඤ්ඤත්ති :- අර්‍ථයන් අවබෝධ කිරීමට සමර්ථ වූ වාග් භේදය පවත්වන චිත්ත සමුට්ඨාන පඨවි ධාතුව, කර්‍මජ පඨවි ධාතුවෙහි (අක්‍ෂර උත්පත්තිස්ථානයෙහි) ගැටීමට සහකාරී කාරණ වූ ආකාර විශේෂය වාග් විඥප්ති නම.

අදහස ප්‍ර‍කාශ කිරීම එහි කෘත්‍යය යැ. වාග් ඝෝෂයට හේතු බව වැටහෙන ආකාර යැ. චිත්තජ පඨවි ධාතුව ආසන්න කාරණ යි.

මෙය වාග් ඝෝෂයෙන් අදහස හැඟවීමට හේතුවන නිසා ද, තමා ද ඒ වාග්ඝෝෂ සඞ්ඛ්‍යාත වචනයෙන් දතයුතු හෙයින් ද, වාග්විඥප්ති කියනු ලැබේ.

නිදර්‍ශන :- අරණ්‍යයෙහි ඔසවා හිඳින ලද ගෝසීසාදියක් දැක මෙහි ජලය ඇතැයි දුර දීම දතහැකි වන්නා සේ, කාය චලනය හා වාග් ඝෝෂය ද ගෙන කාය-වාග් විඥප්තීන් දැන ගනිති.

විශේෂ :- කාය විඥප්තියෙහි දී සැලෙන වර්‍ණය ගැනීමට අනතුරුව යි ද, වචී විඥප්තියෙහි දී ඇසෙන ශබ්ද ශ්‍ර‍වණයට අනතරුවය යි ද, කියන ලදී. කාය විඥප්තිය ‘තමා හා කැටිවැ උපන් රූපකායයා ගේ තදවීම ය, ධැරීම ය, සැලීම ය යන මොවුනට හේතු වූ ආකාර විකාරය’යි කියන ලද හෙයින් සප්තම ජවනයෙහි හටගත් වායෝ ධාතුව පූර්‍ව ජවනයන් ගෙන් හටගත් වායෝ ධාතුහු ගේ උපස්තම්භය ලැබ චිත්තජ රූප චලනය කෙරේ. (මුල් ගැල්වල යුගයෙහි බැඳි ගොනුන් ගේ ඇදීම් වේගයෙහි උපකාරය ලැබ සප්තම යුගයෙහි බැඳි ගොනුන් ම අදනා සේ යයි අටුවාහි කීයේ එහෙයිනි.

වාග් විඥප්තිය, චිත්තජ පඨවිධාතු ඝට්ටනය හා සමගමැ සෘතුජ ශබ්දය උපදී. හෙද පර්‍ය්‍යාය වශයෙන් චිත්තජය යි කියති. එය වූ කලී ප්‍ර‍ථම ජවනයන් ගේ අනුබලය ලැබ සප්තම ජවනයෙහිම වේ. තදවීම්-ධැරීම් ආදිය නැති හෙයිනි. එහෙයින් සුළඟින් ගස් කොළන් සෙලවීමෙහි හා එබඳු ශබ්දයෙහි ද විඥප්ති විකාර රහිත හෙයින් මෙය මෙබන්දක් කෙරේයැ යි නො ගැනේ. (කරුණු මෙසේ හෙයින් හස්තාදී අවයව චලනයට හා ශබ්දයට වඩා අධික වූ අදහස් ඇඟවීමේ ශක්ති විශේෂයකුදු ඇති බව් නිශ්චිතයැ.)

(16) ආකාශ ධාතුව :- චක්‍ෂුර්දශකාදි ඒ ඒ කලාපයෙහි රූප පිරිසිඳීනුයි හෝ ඔවුන්ගෙන් තමා මැ පිරිසිඳීම් ලබානුයි හෝ රූපයන් ගේ පිරිසිඳීම් මාත්‍ර‍ය හෝ යි. මෙසේ මෙය රූප පරිච්ඡේදය (රූප කෙළවර) ලක්‍ෂණ කොට ඇත්තේ ය. රූප කලාපයන් ගේ දැක්වීම එහි කෘත්‍යය යැ. රූපයන්ගේ පරිච්ඡේද මාත්‍ර‍ය (සීමාව) වැටහෙන ආකාරය යැ. ඒ ඒ කලාපයෙහි රූපයන් හා නො ගැටීම හෝ කන් සිදුරු ආදි විවර භාවය ඵලකොට ඇත්තේ යැ. පිරිසිඳින ලද රූපයන් ආසන්න කාරණය යි. (ආකාශ ධාතුවෙන් පිරිසිඳින ලද ඒ ඒ රූප කලාප අන්‍ය කලාප හා සඞ්කර නො ව, මෙය මෙයින් උඩ ය, යට ය, සරස යැ යනාදීන් පිරිසිඳීම මෙහි ස්වභාවය යි.)

(විකාර රූප)

(17) ලහුතා :- ලහුතා රූපය, රූපයා ගේ නො බර බව ලක්‍ෂණ කොට ඇත්තේ යැ. රූපයන් ගේ බර බව දුරු කිරීම එහි කෘත්‍ය යැ. වහා ක්‍රියා කළ හැකි බව වැටහෙන ආකාරය යැ. සැහැල්ලු රූපයම ආසන්න කාරණය යි.

විශේෂ :- චිත්තජ-සෘතුජ-ආහාරජ සඞ්ඛ්‍යාත තිසමුට්ඨාන රූපයන් ගේ නො බර බව විනා, රූපයන්ගේ බර බව පහකිරීමෙක් මෙයින් අදහස් නො කෙරේ. එහෙයින් මේ ඇති කල උපදනා රූපයන්ගේ ද සැහැල්ලු බව වේ.

(18) මුදුතා :- නො තද බව මෘදුතා රූපයා ගේ ලක්‍ෂණය යැ. රූපයන් ගේ තද බව දුරු කිරීම මෙහි කෘත්‍යය යැ. සියලු ක්‍රියාවන්හි අවිරුද්ධ බව වැටහෙන ආකාරය යැ. මොළොක් රූප ආසන්න කාරණය යි.

(19) කම්මඤ්ඤතා :- ශාරීරික සියලු ක්‍රියාවන්ට සුදුසු බවයැයි කියන ලද කර්‍මණ්‍ය බව ලක්‍ෂණය යැ. ශාරීරික ක්‍රියාවන්හි අයහපත් බව දුරුකිරීම එහි කෘත්‍යය යැ. රූපයන් ගේ බලවත් බව වැටහෙන ආකාරය යැ. ශරීර ක්‍රියාවන්හි සුදුසු රූපම ආසන්න කාරණය යි.

විශේෂ :- මේ ලහුතාදිය රූපයන් ගේ ආකාර විශේෂ යි. එබැවින් මේ විකාර රූප නම් වේ. ශාරීරික මහා භූතයන් ගේ වහා ක්‍රියා කරවිය හැකි සේ නො බර බව ලහුතා යැ. ලිහිල් බව මුදුතා යැ. රූපයන් තමා ක්‍රියාවෙහි යෝග්‍ය බව කර්‍මණ්‍යතායි. මේ තුන් එක්වැ පවතින ආකාර වුව ද ඒ ඒ අවස්ථාවන්හි ඒ ඒ ආකාර ප්‍ර‍කට වේ. එහෙත් නො ගිලන් පුරුෂයකු ගේ අත්-පාදිය වහා ක්‍රියා කරවිය හැක්කා සේ, රූපයන් ගේ සැහැල්ලු බව වහා ක්‍රියා කරවිය හැකි බව් සංඛ්‍යාත ස්වරූපය ලහුතා රූපය යැ. වා-පිත්-සෙම් ආදී ධාතුන් කිපීමෙන් හෝ, රසාදි සප්තධාතු ක්‍ෂෝභයෙන් හෝ වන කැළඹීමට ප්‍ර‍තිපක්‍ෂ ස්වරූපය වූ මනාව මැඩගන්නා ලද වර්‍ෂයක් සේ රූපයක් ගේ දැඩි බව නසා සියලු ක්‍රියාවන්හි මනාව පැවැත්විය හැකි බව මුදුතා රූපය යැ. මනාකොට පිඹගත් ස්වර්‍ණයක් සේ කායික ක්‍රියාවන්හි මනාව යෙදවිය හැකි සේ ශරීර ක්‍රියාවනට අනුකූල බව් කරන ධාතුක්‍ෂෝභාදියට ප්‍ර‍තිපක්‍ෂ ප්‍ර‍ත්‍යයයෙන් සමුත්‍ථාපිත රූප විකාරය කම්මඤ්ඤතා රූපය යි.

මෙසේ මේවායේ වෙනස ද දත යුතු.

(ප්‍ර‍ත්‍යුත්පන්න ප්‍ර‍ත්‍යය අමේක්‍ෂකත්‍වය නිසා කර්‍මජ රූපයන්හි මේ ලහුතාදිය විකාර නොවේ.)

(ලක්‍ෂණ රූප)

(20) උපචය රූපය නිෂ්පන්න රූපයන් ගේ ප්‍ර‍ථම හට ගැනීම නොහොත් මත්තෙහි වර්‍ධනය වීමට පළමුවන හටගැනීම ලක්‍ෂණය යැ. පූර්‍වාන්තයෙන් රූපයන් මතුකරවීම එහි කෘත්‍යය යැ. ඒ රූප ධර්‍මයන් එළවන්නාක් මෙන් වීම නොහොත් පරිපූර්‍ණභාවය වැටහෙන ආකාරය යැ. වැඩී වර්‍ධනය වූ රූපය ම ආසන්න කාරණය යි.

(21) සන්තති රූපය :- නිෂ්පන්න රූපයා ගේ පරම්පරාව පැවැත්ම ලක්‍ෂණය යැ. පරම්පරාව නො සිඳීම එහි කෘත්‍යය යැ. රූප පරම්පරාව නො සිඳ පැවැත්ම වැටහෙන ආකාරය යැ. පරම්පරාව නො සිඳ හටගන්නා වූ රූපය ආසන්න කාරණය යි. (මේ උපචය, සන්තති යන නාම ද්වයය ජාති රූපයට මැ නමි. එහෙත් ප්‍ර‍ථම හටගැනීම උචය නමි. ඊට අනතුරුව හටගැනීම සන්තති නමි. වෛනෙය අධ්‍යාශය පරිදි මෙසේ බෙදා වදාරන ලදී.)

මෙහි වෙනසක් නැති හෙයින් ම මොවුන් ගේ නිර්දේශයෙහි “යො ආයතනානං ආචයො සො රූපස්ස උපචයො, යො රූපස්ස උපචයො සො රූපස්ස සන්තති”[9] යි ‘අර්ධේකාදශ රූපයන්ගේ යම් ආදියෙහි හටගැනීමක් වේ නම් එය ම ප්‍ර‍ථමෝත්පාදක බැවින් උපචය නමි. එසේම ඒ උපදනා රූපයන් ගේ මතු මත්තෙහි වැඩීමක් වේ ද, හේ ප්‍ර‍බන්‍ධය නො සිඳ පැවැත්ම වේ. නොහොත් ආයතනයන් ප්‍ර‍ථම වශයෙන් ගණන් ගන්නා ලද ඉපදීම එහි ම උපදනවුන් ගේ වැඩීම හෙයින් උපචය නම් වේ. එයමැ වැඩීම් වශයෙන් ගණන් ගන්නා ලද ඉපදීම සන්තති නම් වේ. එම අටුවාහි[10] ආචය නම් නිපැත්ම ය, උපචය නම් වැඩීම ය, සන්තති නම් පැවැත්ම යයි කියා ගඟක් සමීපයෙහි කැණි ළිඳක පළමු ජලය උණන කාලය මෙන් ආචය ද, පිරුණු කාලය මෙන් උපචය ද, උතුරා යන කාලය මෙන් සන්තතිය ද උපමා කොට දක්වන ලදී.

මෙසේ උපමායෙන් ආයතනයන් ගේ ආචය, උපචය, සන්තතීන් උපදනා ස්වභාවයෙන් ආචයමනුයි ආයතනයන් ගේ ආචයාදිය කීයේ වේ. එසේම ආචය ශබ්දයෙන් ආයතන කියන ලදැ යි ලක්‍ෂණ විසින් උත්පාදය කියන ලදී.

(22) ජරතා රූපය :- රූප ධර්‍මයන් ගේ මේරීම ලක්‍ෂණය යැ. භඞ්ගය කරා පැමිණවීම කෘත්‍යය යැ. කර්‍කශත්‍වාදි ස්වභාව වශයෙන් සමාන වුව ද, උත්පාදාදි අවස්ථාපගමනය වැටහෙන ආකාරය යැ. වී වල පැරණි මෙන් මුහුකළ රූප ආසන්න කාරණය යි.

ඛණච්චාදි වසයෙන් දන්තාදීන් ගේ විකාරය වූ ප්‍ර‍කට ජරාව සඳහා මේ කියන ලදී. අරූප ධර්‍මයන් ගේ වනාහි පටිච්ඡන්න ජරාව වේ. එහි මේ විකාර නැති. එසේම රූප ධර්‍මයන් ගේ එනම් පෘථිවි උදක පර්‍වතාදීන් ගේ ක්‍ෂණික ජරා නම් වූ අප්‍ර‍කට ජරාව අවීචි ජරාව නමුදු වේ. එහි ද පෙර කී සේ විකාර නැති.

(23) අනිච්චතා රූපය :- නිෂ්පන්න රූපයන්ගේ සර්‍වප්‍ර‍කාරයෙන් විනාශය ලක්‍ෂණය යැ. විනාශයට පැමිණීම් වශයෙන් රූපයන් ගේ වැළැක්ම එහි කෘත්‍යය යැ. (ඒකාන්තයෙන් නොවළක්වතත් වළක්වන්නාක් මෙන් වන හෙයින් යටපත්වීම මෙහි අභිප්‍රේත යි.) රූපයන් ගේ බිඳීම් ස්වභාවයෙන් ගෙවීයාම වැටහෙන ආකාරය යැ. හාත්පසින් බිඳෙන රූප ම ආසන්න කාරණය යි.

(24) ආහාර රූපය :- කබලිඞ්කාරාභාරය, අඞ්ගමඞ්ගානුසාරී රස සඞ්ඛ්‍යාත සාරය වූ ඕජාව ලක්‍ෂණය යැ. පිඬු පිඬු කොට අනුභව කරන හෙයින් මෙනම් වේ. (ඕජට්ඨමක රූපය උපදවන හෙයින් ආහාර නම.) ඒ ඕජට්ඨමක රූපය පැවැත්වීම කෘත්‍යය යැ. ඒ ඕජට්ඨමක රූපය ඉපදීම් වශයෙන් රූපකායයට රුකුල්දීම වැටහෙන ආකාරය යැ. (කබල-කබල කොට) අනුභව කළයුතුල වස්තු ආසන්න කාරණය යි. සත්ත්‍වයන් යැපෙන ඕජාවට ‘කබලිඞ්කාර’ යනු නමෙකි.

මේ පෙළෙහි ආ රූපමය[11] අටුවාහි බල රූපය, සම්භව රූපය, ජාති රූපය, රෝග රූපය යන රූපයන් ද, අභයගිරි ආචාර්‍ය්‍යමතයෙහි මිද්ධ රූපය දැයි පාළියෙහි ආ රූපයන්ගෙන් අන්‍ය වූ රූප ද දක්වා “අද්ධා මුනීසි සම්බුද්ධො - නත්‍ථි නීවරණො මම”[12] යනාදීන් ගේ මිද්ධය රූපය නො වේය යි හැඟෙන හෙයින් ප්‍ර‍තික්‍ෂේප කරන ලදී. මිද්ධය රූපයක් නම් එය ප්‍ර‍හාණය නො කළ හැකි හෙයිනි.

(මේ පිළිබඳව ටීකාහි දීර්‍ඝ විස්තරයක් ඇතත් එය රූප නො වන බව ප්‍ර‍තීත හෙයින් මෙහි නො දැක්වේ) අන්‍ය රෝග රූපාදිය ජරතා-අනිච්චතා රූපයෙන් ද, ජාති රූපය උපචයසන්තති රූපයෙන් ද, සම්භව රූපය ආපො ධාතුවෙන් ද, බල රූපය වායෝ ධාතුවෙන් ද, ගෘහීත යි. එයින් ඉන් එකකුදු වෙන ම නැතැයි සනිටුහන් කරන ලදී.

මෙසේ මේ සූවිසි උපාදා රූපය, පෙර කී සතර භූත රූපදැ යි අඩු වැඩි නොවූ අටවිසි වැදෑරුම් රූප වේ.

ඒ සියල්ල මූලාර්ථයෙන් හේතු නම් වූ ලෝභාදිය මෙන් හේතු නොවේ. හේතු නොවන හෙයින් අහේතුක ය. හේතු භාවයෙන් වෙන් වූ හෙයින් හේතු විප්පයුත්ත ය. ප්‍ර‍ත්‍යය සමග පවත්නා හෙයින් ප්‍ර‍ත්‍යය සහිත ය. ලෝකයෙහි වන හෙයින් ලෞකික ය. භූමි වශයෙන් භවාග්‍ර‍ය තෙක් ද ධර්‍ම වශයෙන් ගෝත්‍ර‍භූ චිත්තය තෙක් ද, පැතිර සිටුනා හෙයින් ආසව ය. ආශ්‍ර‍වයන් විසින් අරමුණු කරන හෙයින් සාසව ය. යනාදි ක්‍ර‍මයෙන් ඒකවිධ වේ.

‘මම ය යන මානය, ඇති හෙයින් ආත්මයැ යි ද, ඒ ඇත්මාධීන හෙයින් අධ්‍යාත්මයැ යි ද, (ඉන්‍ද්‍රිය ප්‍ර‍තිබද්ධ ධර්‍මයෝ ය.) ඔවුන් කෙරෙහි වූයේ අධ්‍යාත්මකයැ යි ද, (චක්‍ෂුරාදිපස ය.) එයින් අන්‍ය තෙවිසි (23) රූපය ඉන් බැහැර හෙයින් බාහිරයැ යි ද, විෂය විෂයීන් වශයෙන් අරමුණු කරන හෙයින් අධ්‍යාත්ම පස හා විෂය රූප සත ද ඖදාරිකය යි ද එයින් අන්‍ය වූ සොළොස (16) සූක්‍ෂ්මය යි ද, ආලම්බන-ආලම්බනික නොවන හෙයින් ඒ සොළොසම දූරේ රූපය යි ද, විෂය-විෂයී වශයෙන් අරමුණු කරන හෙයින් ඖදාරික දොළස සන්තිකේ රූපය යි ද, කර්‍මාදි ප්‍ර‍ත්‍යයයෙන් නිපන් හෙයින් සතර මහා භූතය, චක්‍ෂුරාදි තෙළෙසය, කබලීකාරාහාරය යන අටළොස (18) නිෂ්පන්නය යි ද, අන්‍යවූයේ අනිෂ්පන්නය යි ද, මහා භූත ප්‍ර‍සාද හෙයින් චක්‍ෂුරාදි පස ප්‍ර‍සාදය යි ද, අන්‍යවූයේ අප්‍ර‍සාදය යි ද, ඊශ්වර භාවය කරන හෙයින් ප්‍ර‍සාද රූප පස ද, ඉත්‍ථින්‍ද්‍රිය, පුරිසන්‍ද්‍රිය, ජීවිතින්‍ද්‍රිය යන තුන දැයි අට ඉන්‍ද්‍රියයැ යි ද, අන්‍යවූයේ අනින්‍ද්‍රියයැ යි ද, ඒම තෘෂ්ණා-දෘෂ්ටි සම්භව කර්‍මයෙන් ගන්නා ලද හෙයින් උපාදින්නයයි ද අන්‍ය වූයේ අනුපාදින්න ය යි ද යනාදි ක්‍ර‍මයෙන් ද්විවිධ වේ.

නැවත සනිදර්‍ශන ත්‍රිකය, කර්‍මජ ත්‍රිකාදීන් ගේ වශයෙන් ත්‍රිවිධ වේ.

ඒ මෙසේයි :- එහි ඖදාරික රූප දොළස අතුරෙන් රූපාලම්බනය සනිදර්‍ශන සප්‍ර‍තිඝ ය. සෙසු එකොළොස අනිදර්‍ශන සප්‍ර‍තිඝය. සියලු සුඛුම රූප සොළොස අනිදර්‍ශන අප්‍ර‍තිඝ යි. මේය සනිදර්‍ශන ත්‍රිකය යැ.

කර්‍මයෙන් නිපන් ඉන්‍ද්‍රිය රූප අට හා හෘදය රූපය කර්‍මජ ය. අන්‍යසෘතු චිත්ත-ආහාර ප්‍ර‍ත්‍යයත්‍ර‍යයෙන් නිපන්නේ අකර්‍මජ ය. කිසිවකින් නූපන් ලක්‍ෂණ රූප නෛවකර්‍මනාකර්‍මජ ය.

චිත්තයෙන් නිපන් විඥාප්තිද්වය ය, අවකාශ ධාතුව ය, ලහුතාදි තුන ය, අවිනිර්‍භොගය යන පසළොස චිත්තජ ය. අන්‍ය ප්‍ර‍ත්‍යයයෙන් නිපන්නේ අචිත්තජ ය. කිසිවකින් නූපන්නේ නෙවචිත්තඡනාචිත්තජ යි.

අභාරයෙන් නිපන් ආකාශධාතු විකාර රූප අවිනිර්‍භොග යන දොළස අභාරජ ය. අන්‍ය ප්‍ර‍ත්‍යයයෙන් නිපන්නේ අනාහාරජ ය. කිසිවකින් නො නිපන්නේ නෙවආහාරඡනානාහාරජ යි.

සෘතුයෙන් නිපන් යට කී දොළස හා ශබ්දය ද සෘතුඡ ය. අන්‍ය ප්‍ර‍ත්‍යයයෙන් නිපන්නේ අනෘතුජ ය. කිසිවකින් නොනිපන්නේ නෛවසෘතුඡනානෘතුජරූප යි. කර්‍මාදි ත්‍රික වශයෙන් මෙසේ ත්‍රිවිධ යි.

නැවත දිට්ඨාදි - රූපරූපාදි - වත්‍ථාදි චතුක්ක වශයෙන් චතුර්විධ වේ.

ඒ මෙසේයි :- රූපායතනය දර්‍ශන විෂය දිට්ඨනම. ශබ්දායතනය ශ්‍ර‍වණ විෂය හෙයින් සුතනම. ගන්‍ධ-රස-ස්ප්‍ර‍ෂ්ටව්‍යායතන සම්ප්‍රාප්තග්‍රාහක ඉන්‍ද්‍රිය විෂය හෙයින් මුතනම. සෙස්ස විඥානයට ම විෂය හෙයින් විඥාන නම. මෙසේ දිට්ඨාදීන් චතුර්විධ ය.

(ආපෝ ධාතු වර්ජිත පෘථිවි ආදි භූත ත්‍ර‍ය ස්ප්‍ර‍ෂ්ටායතනය යි කීහ. අප් ධාතුව ස්පර්‍ශ නොවේ. (මේ පෙර විස්තර කරන ලදී.) අටවිසි රූපයන් අතුරෙහි අටළොස් නිෂ්පන්න රූප රූප ලක්‍ෂණ වශයෙන් රූප ද, රූප්පන ලක්‍ෂණ වශයෙන් රූප ද වේනුයි. රූපරූප නම. “තිලතෙලං දුක්ඛදුක්ඛං” යනුවෙනි. ආකාශ ධාතුව පරිච්ඡේද රූප නම. කාය-වාග් විඥප්ති පටන් කම්මඤ්ඤතාව තෙක් විකාර රූප නම. ජාති ජරා-භවඞ්ගරූප ලක්‍ෂණ රූප නමි. මෙසේ රූප-රූපාදි වශයෙන් සිව් වැදෑරුම් වේ.

හෘදය රූපය මනෝධාතු-මනෝ විඤ්ඤාණ ධාතුන්ට නිශ්‍ර‍ය වන හෙයින් වස්තු වේ. ද්‍වාර නොවේ. විඥප්ති ද්වය කර්‍මද්වාර හෙයින් ද්වාර වේ. ඒ ඇසුරුකොට චිත්තෝත්පාද නැති හෙයින් වස්තු නො වේ. ප්‍ර‍සාද රූප තමා ඇසුරු කළ චක්‍ෂුර්විඥානාදියට වස්තු ද, අන්‍ය්‍යන් ඇසුරු කළ සම්පටිච්ඡනාදියට ද්වාරද වේ. සෙසු රූප කී ක්‍ර‍මයට විපරීත හෙයින් වස්තු ද නො වේ. ද්වාර ද නොවේ. මෙසේ වස්ත්‍වාදි වශයෙන් සිව්වැදෑරුම් වේ.

නැවත ඒකජය, ද්විජය, තිජය, චතුජය, නකුතොචිජය යි මොවුන් ගේ වශයෙන් පස්වැදෑරුම් වේ. ඉන් හෘදය වස්තුව හා ඉන්‍ද්‍රිය රූප කර්‍මයෙන් ම නිපන් හෙයින් කර්‍මජ වේ. විඥප්ති ද්වයය චිත්තජ ම වේ. මේ එකජ නම් වේ. කලෙක සවිඤ්ඤාණක විසයෙහි චිත්තයෙන් හා අවිඤ්ඤානක විසයෙහි සෘතුවෙන් නිපන් ශබ්දය ද්විජ වේ. සෘතු-චිත්ත ආහාරයෙන් නිපන් ලහුතාදි ත්‍ර‍යය තිජ වේ. කර්‍මාදි සතරින් හටගත් ලක්‍ෂණ රූප වර්ජිත අවශේෂ රූප චතුජ වේ.

විශේෂ :- මේ රූප එකක් එකවිට ප්‍ර‍ත්‍යය කීපයකින් උපදවන්නේ නො වේ. ඒ ඒ ප්‍ර‍ත්‍යයයන් එක එක රූපයක්ම වෙන වෙනම උපදවන්නේ ය.

ලක්‍ෂණ රූපය කිසි රූප ජනක ප්‍ර‍ත්‍යයෙකින් උපදනේ නොවේ. මේ වනාහි නකුතොචිජ නම් වේ.

කවරහෙයින්ද යත් :- උත්පාදයට උත්පාදයක් නැති හෙයිනි. උත්පන්නයා ගේ මේරීම හා භේදය ද අනුත්පන්න ය.

උත්පාද නැතිකල ජරා මරණ කෙසේ වේ ද පරිපාකභේද මත්තං’යි මත්ත ශබ්දය ගැනීමෙන් ජරා-මරණයන් ගේ උත්පාදභාවය නො වේ.

(ජාති නම් ඉපදීම් මාත්‍ර‍ය ය. එයට අන්‍ය ජාතියක් නො විය හැකි ය. එසේ වන්නේ නම් ඒ ජාතිය ගේ ද අන්‍ය ජාතියක් විය යුතු ය. ඔහුගේ ද අන්‍ය ජාතියෙකැයි මෙසේ එහි නැවැත්මෙක් නො වේ. එහෙයින් ජාති ආදිය කිසිවකින් හට නො ගන්නේ ය. කරුණු මෙසේ හෙයින් “උත්පාදයා ගේ උත්පාදයෙක් නැතැ”යි අටුවා වචනය මනාව කීයේ වේ. එසේම උත්පාදයා ගේ ම මිහිකිරීම් මාත්‍ර‍ය වූ ජරාව ද, බිඳීම් මාත්‍ර‍ය වූ අනිත්‍යතාව ද ස්ත්‍රින්‍ද්‍රියාදි කිසි ප්‍ර‍ත්‍යයයෙකින් හට නො ගනී. ‘එසේ වන්නා ජාතිය ගේ කිසිවකින් ජාත බව කෙසේ වේද’ යනු සඳහා පෙළෙහි වදාළ “රූපායතනං” යනාදිය කීහු.)

‘රූපායතනය, සද්දායතනය, ගන්‍ධායතනය, රසායතනය, ඵොට්ඨබ්බායතනය, ආකාසධාතුව, ආපොධාතුව, රූපයා ගේ ලහුතාය, මුදුතාය, කම්මඤ්ඤතාය, රූපයා ගේ උපචයය, සන්තතිය, කබලීකාරාහාරය යන මේ ධර්‍ම චිත්තසමුට්ඨාන යැ, යනාදීන්හි රූපායතනාදී රූපයන්ට ජනක ප්‍ර‍ත්‍යය වූ චිත්තාදිය කෘත්‍යානුභාව ක්‍ෂණයෙහි දක්නා ලද හෙයින් රූපොත්පාදනයෙහි අවියෝග වූ චිත්තාදීන් ගේ ප්‍ර‍ත්‍යයභාවය යි සැලකිය යුතු.

කෘත්‍යානුභාව ක්‍ෂණයෙහි උපදනා රූපායතනාදීන් ගේ විකාරත්‍වයෙන් ගැනීම සඳහා ජාතිය ගේ කිසි ප්‍ර‍ත්‍යයෙකින් උපන් බව විඥප්ති ආදීන් ගේ චිත්තසමුට්ඨාන බව මෙන් පාළියෙහි අනුදන්නා ලදී.

නිෂ්කර්‍මය :- යම්කිසි ප්‍ර‍ත්‍යයෙකින් උපදනා රූපාදිය ඔවුන් ප්‍ර‍ත්‍යය වන මොහොතෙහි විනා ඉන් පෙර හෝ පසුව නො ලැබෙන හෙයින් ඒ ප්‍ර‍ත්‍යයෙන් උපදිතැයි දැනගනී. ජාතිය ද එසේ මැයි.

මේ වනාහි රූපස්කන්‍ධයෙහි විස්තර කථා මුඛය යි.

  1. සං:නි: ඛන්‍ධසංයුත්ත 400 පිට

  2. වසුධම්ම සන්‍ය යි

  3. ප.ප: පඤ්හවාර III

  4. අත්‍ථ:නී: රූපකණ්ඩ 267

  5. ශීතස්පර්‍ශවත්‍යාප: (කණාද)

  6. ප:ප: පච්චය නිදේදස 4

  7. ධ:ප: රූපකණ්ඩ 113 පිට

  8. එහෙත් නූතන හැම වියතුන්ම පාහේ සිත මොළය (මත්‍ථලුඞ්ගය ඇසුරු කොට පවත්නා බව නන් අයුරින් පරීක්ෂණ පවත්වා තීරණය කොට තිබේ. එය දැනට පිළිගෙන ඇතත්, සිත අරමුණු ගැනීමේදී පවත්නා, චක්‍ෂුරාදි වස්තු සතරක් හෝ පසක් හිසේම පිහිටා තිබෙන හෙයින් හා අරමුණු ගැනීමේදී ඒ වස්තූන් ඇසුරින් සිතේ පැවැත්ම වන හෙයින්ද, එම වස්තූන් හා හෘදය වස්තුව අතර පවත්නා මොළය, ඉතා සියුම් ස්නායුන්ගෙන් සම්බන්ධව පවත්නා හෙයින්ද ඒ චක්‍ෂුරාදි පඤ්ච වස්තූන් ගේ ආශ්‍ර‍යයෙන් අරමුණු ගැනීමේ දී සිත එසේ පැවැත්ම විය හැකි ය. තවද හෘදය වස්තුව මුළු ශරීරයේ ජීවරුධිරය පතුරුවන මූලස්ථානය බව සියල්ලන් ගේ පිළිගැනීම ය. ඒ ලෙය සියලු ශරීරයේ ගමන් කරවන සියුම් ස්නායුන් හෘදය හා සම්බන්ධව පවතී. හෘදය වස්තුව ආශ්‍ර‍ය කරන ඒ ලෙයෙහි ඇති ප්‍ර‍සාද ගතියක් වස්තුකොට පවත්නා මනෝධාතු-මනෝ විඤ්ඤාණධාතු සංඛ්‍යාත (ද්විපඤ්ච විඤ්ඤාණ හැර) සියලු චිත්ත සන්තතිය ඒ ඒ වස්තූන්හි පවත්වමින් ද්වාරයන් ඇසුරෙන් ආලම්බනයන් ගැනීමේද හෘදය හා ඉන්‍ද්‍රියයන් අතර මධ්‍යස්ථානයේ (මොළයේ) ද ආශ්‍ර‍ය ලැබීම පෙර කී සේ ඉතා සියුම් ස්නායු සම්බන්ධය නිසා සිදුවන බව නිශ්චය කළ හැකිය.

  9. ධ:ස: රූපකණ්ඩ 140 පිට

  10. අත්‍ථසාලිනී 282

  11. ධ:ස: රූපකණ්ඩ 112-162

  12. අත්‍ථසාලිනී රු:ක: 291