2. විඥාන ස්කන්ධය

රූපස්කන්‍ධයෙන් අන්‍ය වූ සතර නාමස්කන්‍ධයන් අතුරින් ‘ආලම්බන රසානුභවන ලක්‍ෂණ වූ’ යම් ස්වභාවයෙක් වේ නම් ඒ සියලු ධර්‍ම එක්රැස් කොට වේදනාස්කන්ධය යි ද,

නීලවර්‍ණාදි වශයෙන් හැඳිනීම ලක්‍ෂණ කොට ඇති යම් ධර්‍ම කෙනෙක් වෙත් නම් ඒ සියල්ල එක්රැස් කොට සංඥා ස්කන්ධය යි ද,

සකස් කිරීම හෝ උත්සාහ කිරීම ලක්‍ෂණ කොට ඇති යම් ධර්‍ම කෙනෙක් වෙත් නම් ඒ සියලු ධර්‍ම සමූහය එක්රැස් කොට සංස්කාරස්කන්‍ධය යි ද,

අරමුණු බැලීම් සංඛ්‍යාත දැනීම ලක්‍ෂණ කොට ඇති සියල්ල නුවණින් එක්රැස් කොට විඥානස්කන්‍ධය යි ද, දත යුතු වේ.

මේ සතර නාමස්කන්‍ධ අතුරින් විඥානස්කන්‍ධය මනාව දැනගත් කල්හි ඉතිරි ස්කන්‍ධ ත්‍ර‍යය සුවසේ දත හැකිවන හෙයින් මෙහිලා විඥානස්කන්‍ධය මුල් කොට වර්‍ණනා කරන්නෙමු.

පළමු කී විඥානස්කන්‍ධයා ගේ ලක්‍ෂණ සූත්‍ර‍ දක්වා සමර්‍ථනය කරනු පිණිස “කිඤ්ච” යනාදිය කීහු.

හුදු විජානන ලක්‍ෂණය විඥාන යැ. එයින් වදාළහ. “විජානාති විජනාති ඛො ආවුසො තස්මා විඤ්ඤාණන්ති වුච්චති”[1] ‘ඇවැත්නි! අරමුණු දැනගන්නා හෙයින් විඥානය යි කියනු ලැබේ. යම් ස්වභාව ධර්‍මයෙක් විජානනාර්‍ථයෙන් විඥාන වේ නම් එය ම අරමුනු සිතීම් අර්ථයෙන් ‘චිත්ත’ නමුදු වේ. අරමුණු හඟනා අර්‍ථයෙන් ‘මනෝ’ නමුදු වේ. මෙසේ විඥාන-චිත්ත-මනෝ යනු එකාර්‍ථ ය.

මෙතෙකින් ස්කන්‍ධ වශයෙන් ද, භේද වශයෙන් ද, පර්‍ය්‍යාය වශයෙන් ද, විඥානය ප්‍ර‍කාශ කරන ලදි. පෙර කී පද තුන ම අර්ථ වශයෙන් එකක් වුව ද ජාති වශයෙන්

1. කුශලය

2. අකුශලය

3. අව්‍යාකෘතයැ යි ත්‍රිවිධ වේ.

(ඔවුන් අතුරින්)

(1) කුශලය

(අ) භූමි භේදයෙන්

i කාමාවචරය

ii රූපාවචරය

iii අරූපාවචර

iv ලෝකෝත්තරයැ යි සතර වැදෑරුම් වේ.

(i) (ඔවුනතුරින්) කාමාවචර කුශලය, සොමනස්ස - උපෙක්ඛා - ඤාණ සඞ්ඛාර භේදයෙන් අටවැදෑරුම් වේ.

ඒ මෙසේ යි.

(1) සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත අසඞ්ඛාරික චිත්තය

(2) ” ” ” සසඞ්ඛාරික ”

(3) ” ” ඤාණවිප්පයුත්ත අසඞ්ඛාරික ”

(4) ” ” ” සසඞ්ඛාරික ”

(5) උපෙක්ඛා සහගත ඤාණසම්පයුත්ත අසඞ්ඛාරික ”

(6) ” ” ” සසඞ්ඛාරික ”

(7) ” ” ඤාණවිප්පයුත්ත අසඞ්ඛාරික ”

(8) ” ” ” සසඞ්ඛාරික ”

කියායි.

(1) යම් කලෙක ‘දෙය්‍ය ධර්‍ම - ප්‍ර‍තිග්‍රාහක - දේශ - කාල - කල්‍යාණ මිත්‍රාදි සම්පත් හෝ, අන්‍යවූ ද ශ්‍ර‍ද්ධා බහුලතාය, පරිශුද්ධ දෘෂ්ටිතාය, කුශල ක්‍රියාවෙහි ආනිසංස දැකීම ය, සොමනස්ස පටිසන්‍ධිය යනාදි සොමනස්ස හේතුවක් ලැබ තුටු පහටුවැ; ‘දෙන ලද්දෙහි විපාක ඇත’ යනාදි ක්‍ර‍මයෙන් පැවැති සම්‍යක් දෘෂ්ටිය පෙරටු කොට ගෙන; මුක්ත චාගතාදි ගුණයෙන් යුක්තවැ පසුබට නොවැ තමාම උත්සාහවත් වූයේ; දානාදි පින්කම් කෙරේ නම් එකල ඕහට ‘සොමනස්සසහගත-ඤාණසම්පයුත්ත - අසඞ්ඛාර’ යන පළමුවන චිත්තය උපදී.

(2) පෙර කී සේ තුටු පහටුව; සම්මාදිට්ඨිය පෙරටු කොට; අමුත්තචාගතාදිය නිසා පසුබට වූයේ මෙරමාවිසින් උත්සාහවත් කරවන ලද්දේ, පින්කම් කෙරේ නම් ඕහට දෙවන කුසල් සිත උපදී.

(මෙහි තමා ගේ හෝ මෙරමා ගේ වශයෙන් පැවැති පූර්‍ව ප්‍රයෝගය සසඞ්ඛාරය යි කීයේ වේ.)

(3) යම් කලෙක මවු-පියාදීන් විසින් කරනු ලබන දන්දීම් ආදි ප්‍ර‍තිපත්ති දැකීමෙන් පුරුදු වූ බලායෙක් භික්‍ෂූන් දැක සතුටින් අතවූවක් වහා දේද; එකල ඕහට තුන්වන කුසල් සිත උපදී.

(5) යම් කලෙක ‘දෙව, වඳුවයි’ මවු - පියාදීන් විසින් මෙහෙයන ලද්දේ; ඒ සතුටින් කෙරේ නම්, එකල සතරවන කුසල් සිත උපදී.

(මෙහි බාලයා ගැනුණේ සම්මාදිට්ඨි වශයෙන් නුවණ ඉපදවීමට (ආනිසංසය සැලකීමට) අසමර්‍ථ හෙයින් ඤාණවිප්පයුත්ත බව් දැක්වීමට ය.)

(5,6,7,8) යම් කලෙක ‘දෙය්‍යධර්‍ම-ප්‍ර‍තිග්‍රාහකාදි සම්පත් නොලැබීමෙන් හෝ, වෙන යම්කිසි ‘සොමනස්ස’ හේතුවක් නො වීමෙන් හෝ, මධ්‍යස්ථ වූයේ, පෙර කී සේ දානාදි පිංකම් කෙරේ නම්; පිළිවෙළින් උපෙක්ඛා සහගත කුසල් සිත් සතර උපදී. මෙසේ සොමනස්ස - උපෙක්ඛා - ඤාණසම්පයුත්ත - විප්පයුත්ත - අසංඛාර - සසංඛාර භේදයෙන් කාමාවචර කුශලය අටවැදෑරුම් වේ.

ii රූපාවචර කුශලය ද ධ්‍යානාඞ්ග භේදයෙන් පස්වැදෑරුම් වේ.

(1) චිත්තක - විචාර - පීති - සුඛ - එකග්ගතා සහිත පඨමජ්ඣාන කුසල චිත්තය.

(2) විචාර - පීති - සුඛ - එකග්ගතා සහිත දුතියජ්ඣාන කුසල චිත්තය.

(3) පීති - සුඛ - එකග්ගතා සහිත තතියජ්ඣාන කුසල චිත්තය.

(4) සුඛ - එකග්ගතා සහිත චතුත්‍ථජ්ඣාන කුසල චිත්තය.

(5) උපෙක්ඛා - එකග්ගතා සහිත පඤ්චමජ්ඣාන කුසල චිත්තය කියායි. විස්තර යට ධ්‍යාන කථාහි කී සෙයින් දතයුතු.

iii අරූපාවචර කුශලය ද උපෙක්ඛා එකග්ගතා - සංඛ්‍යාත සතර අරූප ධ්‍යානයන් හා සමාභෝගයෙන් නොහොත් අරූප ධ්‍යානයන් ගේ ආලම්බන භේදයෙන් යට ආරුප්‍ය කථාවෙහි කී පරිදි,

(1) ආකාසානඤ්චායතන ධ්‍යානය හා සම්ප්‍ර‍යුක්ත වූ ප්‍ර‍ථමාරූප්‍යය,

(2) විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය හා සම්ප්‍ර‍යුක්ත වූ ද්‍විතියාරූප්‍යය,

(3) ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය හා සම්ප්‍ර‍යුක්ත වූ තෘතියාරූප්‍යය,

(4) නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය හා සම්ප්‍ර‍යුක්ත වූ චතුර්‍ථාරූප්‍යයැ යි මෙසේ සිව්වැදෑරුම් වේ.

iv ලෝකෝත්තර කුශලය ද

(1) සොතාපත්ති මග්ග

(2) සකදාගාමි මග්ග

(3) අනාගාමි මග්ග

(4) අරහත්ත මග්ග

යන භේදයෙන් සතර මාර්‍ගයෙහි යෙදීම් වශයෙන් සතර වැදෑරුම් වේ. විස්තර මතු පහළ වේ. මෙසේ කුශල චිත්තය ප්‍ර‍ථම කොට එක්විසි වැදෑරුම් වේ. (මේ මධ්‍යම පුඩු වශයෙනි.)

2. අකුශල කර්‍මය භූමි වශයෙන් ඒකවිධ වේ. හේ කාමාවචර මැයි.

විශේෂ :- අභයගිරි වැස්සේ රූපාවචර අරූපාවචර අකුසල්ද ඇතැයි යෙති’ එය වළකනු සඳහා කාමාවචරයැයි කීහ.

නිර්‍ණය :- රූපා‘රූප භූමියෙහි ද, අකුසල් උපදිතත්, ප්‍ර‍වෘත්ති විපාක දෙතත්, ප්‍ර‍තිසන්‍ධි විපාක නො දෙන බැවින් හා, කාමතෘෂ්ණාවෙන් යුක්ත වීම කාමාවචර වීමේ එකම හේතුව හෙයින් කාමාවචරය යි කියන ලදි.

රූපා‘රූප තෘෂ්ණා විෂයත්‍වය රූපා‘රූප භවයට කාරණ වන්නාක් මෙනි.

අකුශලය භුමි හෙයින් ඒකවිධ ය. කාමාවචර ය.

මූල හෙයින් (අ) ලෝභ, (ඉ) දෝස, (උ) මෝහයන් ගේ වශයෙන් ත්‍රිවිධ වේ. සුප්‍ර‍තිස්ථිත භාවයට කාරණ හෙයිනි. එහි ලෝභ මූලය හා ද්වේෂ මූලය අසාධාරණ මූල වශයෙන් (ඒ ඒ සිත්වලට ම නියත වශයෙන්) දැක්වූහ. මෝහය වූ කලී ලෝභ මූලාකාදියෙහි ද යෙදෙතුදු හුදෙක් මෝහ මූලික සිත්හි ලෝභාදිය නො යෙදෙන හෙයින් හුදු මෝහ මූලික වේ. එහි ලෝභ මූලය සොමනස්ස - උපෙක්ඛා භේදයෙන් ද, දිට්ඨිගත සම්පයුත්ත - විප්පයුත්ත භේදයෙන් ද, අසඞ්ඛාර - සසඞ්ඛාර භේදයෙන් ද, අට වැදෑරුම් වේ.

ඒ මෙසේයි.

(අ)

(1) සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසඞ්ඛාරික චිත්තය

(2) ” ” ” ” සසඞ්ඛාරික ”

(3) ” ” දිට්ඨිගත විප්පයුත්ත අසඞ්ඛාරික ”

(4) ” ” ” ” සසඞ්ඛාරික ”

(5) උපෙක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසඞ්ඛාරික ”

(6) ” ” ” ” සසඞ්ඛාරික ”

(7) ” ” දිට්ඨිගත විප්පයුත්ත අසඞ්ඛාරික ”

(8) ” ” ” ” සසඞ්ඛාරික ”

කියායි.

දිට්ඨිගත, මෙහි දිට්ඨිය මැ දිට්ඨිගත යැ. “ගූථගත” යනාදිය මෙනි. නොහොත් ගතයුතු වස්තුවක් නො වූයෙන් විපරීත කොට ගන්නා ලද්ද හෝ, මෙය මැ සත්‍ය ය, අනෙක අසත්‍යයැ යි අභිනිවේශ වශයෙන් පැවැති දෘෂ්ටියෙන් ගන්නා ලද්දම හෝ දිට්ඨිගත නමි.

විස්තර :- පස්කම් සැප විඳීමෙහි ආදීනව නැතැයි මිසදිටු පෙරටු කොට තුටු පහටුවැ ලෝභයෙන් යුතුවැ, තමා ගේ හෝ මෙරමා ගේ පූර්‍ව ප්‍රයෝග නැතිවැ, ස්වභාව තීක්‍ෂණ වූ සිතින් පස්කම්රස සෙවුනාහට හෝ, ‘දුන් දෙයෙහි විපාක නැතැයි’ යනාදීන් දශවස්තුක මිථ්‍යාදෘෂ්ටිය පෙරටු කොට ගන්නාහට හෝ දිට්ඨමඞ්ගලිකාදිය සාර වශයෙන් ගන්නාහට හෝ, කර්‍ම විපාකාදියට ඉඳුරා විරුද්ධ වූ මිථ්‍යා ප්‍ර‍තිපත්තීන් සාරවශයෙන් ගන්නාහට හෝ පළමුවැනි අකුසල් සිත උපදනේ යි.

(2) යම් කලෙක පූර්‍ව ප්‍රයෝගයෙන් පසුබට වූ හෝ මෙරමා විසින් උත්සාහවත් කරන ලදුවැ පෙරකී සේ මිථ්‍යාදෘෂ්ටි සහිත වූ සිතින් යුක්තවූයේ ද එකල දෙවැනි අකුසල් සිත උපදී.

(3) යම් කලෙක මිථ්‍යාදෘෂ්ටියෙන් මිශ්‍ර‍ නොවැ හුදෙක් තුටු පහටුවැ කාම සේවනාදිය හෝ කෙරේ ද, පරසම්පත් තමහට අභිමුඛ කොට හෝ සිතා ද, මෙරමා සතු බඩු පැහැර ගන්නේ හෝ වේද, එකල තුන්වන අකුසල් සිත උපදී.

(4) යම්කලෙක පෙර කීසේ මිථ්‍යාදෘෂ්ටිය පෙරටු කොට නො ගෙන හුදෙක් තුටු පහටුවැ පසුබට සිතින් මෙවුන්දම් සෙවීම් ආදිය හෝ කෙරේ ද, එකල සතරවන අකුසල් සිත උපදී.

යම්කලෙක පඤ්චකාම සම්පත් ආදියෙහි අසම්පූර්‍ණත්‍වයෙන් හෝ, සෙසු සොම්නස් හේතූන් නො වීමෙන් හෝ මැදහත්වැ යටකී සේ අකුශල කර්‍ම කෙරේ ද? එකල පිළිවෙළින් 5-6-7-8 වැනි අකුසල් සිත් උපදී.

මෙසේ සොමනස්ස-උපෙක්ඛා වේදනා හෙයින් ද, දිට්ඨිගත සම්පයුත්ත - විප්පයුත්ත විසින් ද, අසඞ්ඛාර - සසඞ්ඛාර විසින් ද, ලෝභ මූලික සිත් අටවැදෑරුම් වේ.

(ඉ) දොස මූලික සිත් :-

(1) දොමනස්සසහගත පටිඝ සම්පයුත්ත අසඞ්ඛාරික චිත්තය

(2) ” ” සසඞ්ඛාරික චිත්තයැ යි ද්‍විවිධ යැ.

විස්තර :- (1) අසතුටට හේතු වූ කරුණු නිසා දොම්නස් වේදනාවෙන් හා එහෙයින් ම ක්‍රෝධයෙන් ද යුක්තවැ ස්වභාව තීක්‍ෂණ වූ කල පළමුවැනි ද්වේෂ මූලික අකුශලය වේ.

(2) එසේ මැ මෙරමා ගේ හෝ තමා ගේ පූර්‍වප්‍රයෝග සහිත වූයේ දෙවැනි සිත උපදී. ප්‍රාණඝාතාදියෙහි තීක්‍ෂණ මන්‍ද වශයෙන් පැවැත්මෙහි භෙද දතයුතු.

(උ) මෝහ මූලික සිත් :-

(1) උපේක්‍ෂා වේදනාවෙන් යුත් විචිකිච්ඡා සම්ප්‍ර‍යුක්ත සිතය

(2) උපේක්‍ෂා වේදනාවෙන් යුත් උද්ධච්ච සම්පයුත්ත සිතයැයි දෙකෙකි.

(මේ දෙසිත මෝහ මූලික හෙයින් අතිමූළ්හ වේනුයි’ මෝමූහ යයි කීය. අරමුණෙහි චඤ්චල බැවින් හා දමාගසන ලද්දක් මෙන් වන හෙයින් ස්වභාව තියුණු බවක් හෝ උත්සාහවත් කරවිය යුතු බවක් නැති හෙයින් මෙහි සඞ්ඛාර භේදයෙක් නැති.) සැකය හා නොසන්සුන් බව මේ දෙකෙහි ස්වභාවය යි.

3. අව්‍යාකෘත චිත්තය ද

(1) විපාකය

(2) ක්‍රියායැ යි දෙපරිදි වේ.

එහි විපාක චිත්තය භූමි වශයෙන්

(i) කාමාවචරය

(ii) රූපාවචරය

(iii) අරූපාවචරය

(iv) ලෝකෝත්තරයැ යි සිවුවැදෑරුම් වේ.

ඔවුනතුරින් (1) කාමාවචර විපාකය

(i) කුසල විපාකය

(ii) අකුසල විපාකයැ යි දෙපරිදි වේ.

i කුසල විපාකය ද

(අ) අහේතුක විපාකය,

(ආ) සහේතුක විපාකයැ යි දෙපරිදි වේ.

(1) (අ) අලෝභාදි හේතු රහිත වූයේ අහේතුක ය.

ඒ අහේතුක විපාක ද

(1) උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය

(2) එසේම සොතවිඤ්ඤාණය

(3) එසේම ඝානවිඤ්ඤාණය

(4) එසේම ජිව්හා විඤ්ඤාණය

(5) සුඛ සහගත කාය විඤ්ඤාණය

(6) උපෙක්ඛා සහගත සම්පටිචඡන (මනෝධාතු) ය

(7) උපෙක්ඛා සහගත සන්තීරණය

(8) සොමනස්ස සහගත සන්තීරණ

(මනොවිඤ්ඤාණධාතු දෙසිත) යැයි අටවැදෑරුම් වේ.

(අ) (i) චක්ඛුවිඤ්ඤාණය, චක්‍ෂුඃප්‍ර‍සාදය ඇසුරු කොට රූපාලම්බනය දැකීම් ලක්‍ෂණය යැ. රූප මාත්‍ර‍ය අරමුණු කිරීම් කෘත්‍යය යැ. රූපාලම්බනය වැටහනෙ ආකාරය යැ. තමහට අනතුරුව උපදනා (චක්ඛු විඤ්ඤාණ චිත්තයට අනන්තර වීම් වශයෙන් උපකාර වන හෙයින් පඤ්චද්වාරාවජ්ජන චිත්ත සංඛ්‍යාත ක්‍රියා මනෝධාතුහු ගේ අපගමය ආසන්න කාරණය යි.

(2-5) ශ්‍රෝත්‍ර‍විඥානාදීහු ද, ශ්‍රොත්‍රාදිය නිඃශ්‍රිත ශබ්දාදිය දැනීම් ලක්‍ෂණය හ. ශබ්දාදීය අරමුණු කිරීම් කෘත්‍යය හ. ශබ්දාදිය පිළිගැනීම වැටහෙන ආකාරය හ. ශබ්දාදිය අරමුණු කොට ඇති කිරිය මනෝධාතුහු ගේ අපගමය ආසන්න කාරණය හ.

චක්‍ෂුර්විඥානාදියට අනතුරු වූ (6) (මනෝධාතුව) සම්පටිච්ඡන චිත්තය රූපාදි ආලම්බන දැනගැනීම් ලක්‍ෂණය යැ. රූපාදිය පිළිගැනීම් කෘත්‍යය යැ. එබඳු වූ රූපාදිය පිළිගැනීම වැටහෙන ආකාරය යැ. චක්ඛු විඤ්ඤාණාදීන් ගේ අපගමය ආසන්න කාරණය යි. එයට අනතුරු වැ (7-8) (අහේතුක විපාක මනොවිඤ්ඤාණ ධාතු දෙදෙන) සන්තීරණ සිත් දෙක ෂඩාලම්බනය දැනීම් ලක්‍ෂණයහ. සන්තීරණ - තදාරම්මණාදි කෘත්‍යයහ. එබඳු රූපාදිය තීරණය කිරීම වැටහෙන ආකාරය හ. හෘදය වස්තුව මැ ආසන්න කාරණය හ.

(මෙහි යටකීසේ “තංතං අනත්තරාතීත විඤ්ඤාණාපගම පදට්ඨානා” - ඒ ඒ සමීපයෙහි ඉක්ම ගිය සිත ආසන්න කාරණය යි. නො කියා හෘදය වස්තුව ආසන්න කාරණයැ යි. කීයේ සන්තීරණ ස්ථානය නිබද්ධ නො වන බැවිනි.) යට කී නයින් වනාහි “තංතං අනන්තරාතීත විඤ්ඤාණාපගම පදට්ඨානා” කියනුවට වටී මැයි. සන්තීරණ පදට්ඨානය නිබද්ධ නො වන බැවින් යට සිතට මෙන් පදට්ඨාන නො කියා හදයවත්‍ථු පදට්ඨාන යි’ කීහ. (යනු සන්නයි.)

සොමනස්ස - උපෙක්ඛා යෝගයෙන් ද, ද්විස්ථානික හා පඤ්චස්ථානික වශයෙන් ද සන්තීරණයා ගේ භේදය වේ.

ඒ එසේමැ යි :- මොවනුතුරින් (එකක්) සොමනස්ස සන්තිරණය ඒකාන්ත ඉෂ්ටාලම්බනයෙහි පවත්නා හෙයින් සොමනස්ස වේදනා සම්ප්‍ර‍යුක්තවැ සන්තීරණ වශයෙන් පඤ්චද්වාරයෙහි ද, තදාරම්මණ වශයෙන් ජවනාවසානයෙහි ෂඩ්ද්වාරයෙහි ම ද, පවත්නා හෙයින් ද්විස්ථානික යැ. (එකක්) උපෙක්ඛා සහගත සන්තීණය ඉෂ්ටමධ්‍යස්ථාලම්බනයෙහි පවත්නා හෙයින් උපෙක්ඛා සහගත වැ සන්තීරණ - තදාරම්මණ - පටිසන්‍ධි - භවාඞ්ග - චුති වශයෙන් පවත්නා හෙයින් පඤ්චස්ථානික යි.

විස්තර :- සෝමනස්ස සහගතසන්තීරණය, පඤ්චද්වාරයෙහි සම්පටිච්ඡන - වොත්‍ථපනයන් ගේ අතරෙහි සන්තීරණ ස්ථාන වශයෙන් ද, ෂඩ් ද්වාරයෙහි ජවන-භවාඞ්ගයන් අතරෙහි තදාලම්බන ස්ථානයෙහි දැයි ස්ථාන දෙකෙකද,

උපෙක්ඛා සහගත සන්තීරණය, ඉෂ්ට මද්‍යස්ථාලම්බනයෙහිදී පෙරකී ස්ථාන ද්වයෙහි හා ප්‍ර‍තිසන්‍ධි ආදි කාලයෙහි චුති-භවාඞ්ග අතරෙහි ප්‍ර‍තිසන්‍ධිස්ථානයෙහි ද, ජවන-ආවර්‍ජනයන් හෝ තදාලම්බන ආවර්‍ජනයන් හෝ, වොත්‍ථපන - ආවර්‍ජනයන් හෝ ප්‍ර‍තිසන්‍ධි - ආවර්‍ජනයන් හෝ අතරෙහි භවාඞ්ග ස්ථානයෙහි ද වේ. තදාලම්බන - ප්‍ර‍තිසන්ධීන් ගේ හෝ ජවන ප්‍ර‍තිසන්ධීන් ගේ හෝ අතරෙහි චුති ස්ථානයෙහි වේ.

කායප්‍ර‍සාදයට නිශ්‍ර‍ය වූ භූතයන් ගේ අති ඉෂ්ටස්ප්‍ර‍ෂ්ටවය නො වන්නා වූ භූතයන්ගේ ද ඝට්ටනය බලවත්වන හෙයින් කාය විඥාන සුඛ සහගත වේ. උපාදා රූපයන් ගේ ඝට්ටනය දුර්‍වල හෙයින් චක්ඛු විඤ්ඤාණාදිය උපෙක්ඛා සහගතමැ වේ.

මෙසේ අටවැදෑරුම් වූ කුසල අහේතුක විපාක විඤ්ඤාණය නියත-අනියත ආලම්බන වශයෙන් ද්විධ යැ. උපෙක්ඛා - සුඛ - සොමනස්ස භේදයෙන් ත්‍රිවිධ යි.

චක්‍ෂුරාදි විඥාන පස නියතයෙන් මැ පිළිවෙළින් රූපාදි පඤ්චාලම්බනයෙහි මැ පවත්නා හෙයින් නියතාලම්බනික යැ. සෙසු තුන අනියතාලම්බනිකයි. ඔවුනතුරිනුදු මනොධාතුව රූපාදි පඤ්චාලම්බනික යැ. මනෝ විඤ්ඤාණධාතු ද්වයය ෂඩාලම්බනික යි. කාය විඤ්ඤාණය සුඛ වේදනා යුක්ත යැ. (සන්තීරණ-තදාරම්මණ කෘත්‍ය සාධක) ද්විස්ථානික මනොවිඤ්ඤාණ ධාතුව (සොමනස්ස සහගත සන්තීරණය) සොමනස්ස යුක්ත යැ. සෙසු සය උපෙක්ඛා වේදනා යුක්තයි.

මෙසේ අහේතුක අෂ්ටකුශල විපාක දතයුතු.

(ඉ) සහේතුක විපාක, ත්‍රිහේතුක වශයෙන් අලෝභ-අදෝස-අමෝහ යන තුන හා, ද්විහේතුක වශයෙන් අලෝභ-අදෝස, දෙක ද යන විපාක හේතූන් හා සම්ප්‍ර‍යුක්ත වූවෝ සහේතුක විපාකයෝ යි. කාමාවචර කුශලයන් මෙන් විපාක ද සොමනස්ස - උපෙක්ඛා - ඤාණ-සඞ්ඛාර භේදයෙන් අටවැදෑරුමි. ඒ මෙසේ යි.

(1) සෝමනස්සසහගත ඤාණසම්පයුත්ත අසඞ්ඛාර චිත්තය

(2) ” ” ” සසඞ්ඛාර ”

(3) ” ” ඤාණවිප්පයුත්ත අසඞ්ඛාර ”

(4) ” ” ” සසඞ්ඛාර ”

(5) උපෙක්ඛාසහගත ඤාණසම්පයුත්ත අසඞ්ඛාර ”

(6) ” ” ” සසඞ්ඛාර ”

(7) ” ” ඤාණවිප්පයුත්ත අසඞ්ඛාර ”

(8) ” ” ” සසඞ්ඛාර ”

මෙය (i) සම්ප්‍ර‍යුක්ත ධර්‍මයෙනුදු, (ii) අරමුණු හෙයිනුදු, (iii) ප්‍ර‍වෘත්‍යාකාරයෙනුදු කුශලයට විසදෘශ වේ.

(i) කුශලයෙහි කරුණා-මුදිතා සඞ්ඛ්‍යාත අප්‍ර‍මාණ්‍යයන් හා, සම්මාවාචා දි විරති තුන ද ඇතත්, විපාකයන් හි ඒ දෙක මැ නැති හෙයින් සම්ප්‍රයුක්ත වශයෙන් භේදය වේ.

(ii) කුශලය දානාදි වශයෙන් ෂඩාලම්බනයෙහි පවතී. විපාකය එසේ නොවැ පටිසන්ධි - භවාඞ්ග - චුති - තදාරම්මණ වශයෙන් කාමාවචර ධර්‍මයන්හි ඇතුළත් වූ ෂඩාලම්බනයෙහි පවතී.

(iii) ප්‍ර‍වෘත්ති ආකාරයෙන් වනාහි කුශලය, කර්‍මද්වාර වශයෙන් කායද්වාරාදියෙහි පවතී. විපාකය අවිඥප්ති ජනක හෙයින් කර්‍මද්වාරාදියෙහි නො පවතී, උත්පත්තිද්වාර වශයෙන් වනාහි පඤ්චද්වාර - මනොද්වාරයන්හි මහාවිපාකයන් ගේ තදාලම්බන වශයෙන් පැවැත්ම වේ.

තවද කුශලය ගති වශයෙන් පස් වැදෑරුම් වේ. විඥානස්ථිති වශයෙන් සත් වැදෑරුම් වේ. විපාකය තදෙකදේසයෙකම උපදනෙන් එසේ නොවේ.

තවද, අසඞ්ඛාර-සසඞ්ඛාර භේදය (i) ආගමන වශයෙන් ද, (ii) ප්‍ර‍ත්‍යය භේදයෙන් ද වේ.

(i) ආදාසතලයෙහි මුඛ නිමිත්ත මෙන් විපාකයා ගේ අසඞ්ඛාර - සසඞ්ඛාර භේදය කුශලයා ගේ වශයෙන් වේ. මුඛය චලනය වූකල මුඛ නිමිත්ත ද චලනය වන්නාක් මෙන් ද, මුඛය නිශ්චල වූකල මුඛ නිමිත්ත නිශ්චල වන්නාක් මෙනි. මේ ආචාර්‍ය්‍ය මතයෙකි.

(ii) බලවත් වූ කර්‍මාදි ප්‍ර‍ත්‍යයෙන් උපදවන ලද්දේ අසංස්කාරික ය. දුර්‍වල වූ කර්‍මාදි ප්‍ර‍ත්‍යයෙන් නිපදවන ලද්දේ සසංකාරික යි.

හීන-මධ්‍යම-ප්‍ර‍ණීත ඡන්‍දාදීන් උපදවන ලද කුශලයා ගේ විපාකය ද එසේ වන්නාක් මෙනි.

(පෙළෙහි ආ පරිදි අසඞ්ඛාර-සසඞ්ඛාර භේදයෙන් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් ගේ විශේෂයෙක් කුශල-විපාක පිළිබඳවැ නැති. එහෙත් විපාක ඉපදීමෙහි උත්සාහ සඞ්ඛ්‍යාත අවිද්‍යා-තෘෂ්ණාදි ක්ලේශ ඇති සන්තානයෙහි ම විපාක ඉපදවීමේ ශක්තිය කර්‍මයෙහි ඇතත් විපාකයෙහි නැති. එහෙයින් ම මුඛය මෙන් කර්‍මය ද, ආදාසතලයෙහි මුඛ නිමිත්ත මෙන් විපාකය ද දතුයුතු.)

ii අකුශල විපාක, හුදෙක් ලෝභාදි අකුශල හේතූන් හා අලෝභාදි කුශල හේතූන් කැළම නැති හෙයින් අකුශල විපාක ද අහේතුක මැයි.

භේද වනාහි

(1) උපෙක්ඛා සහගත චක්ඛුවිඤ්ඤාණය

(2) ” ” සොත ”

(3) ” ” ඝාන ”

(4) ” ” ජිව්හා ”

(5) දුක්ඛ සහගත කාය විඤ්ඤාණය

(6) උපෙක්ඛා සහගත (සම්පටිච්ඡන කෘත්‍යය ඇති) මනොධාතු ය.

(7) උපෙක්ඛා සහගත (සන්තීරණ) මනොවිඥානධාතුව දැ යි සත්වැදෑරුම් වේ.

හෙද ලක්‍ෂණාදි වශයෙන් කුශල අහේතුක විපාකයන්ට කී ලක්‍ෂණ ඇති. හුදෙක් කුශල විපාක ඉෂ්ට-ඉෂ්ට මධ්‍යස්ථ ආලම්බනික යැ. මෙය අනිෂ්ට - අනිෂ්ට මධ්‍යස්ථ ආලම්බනික යි. එහෙයින් කුශල විපාක උපෙක්ඛා-සුඛ-සොමනස්ස භේදයෙන් ත්‍රිවිධ යැත මෙය උපේකඛා, දුක්ඛ භේදයෙන් විවිධ යි. කුශල විපාකයන් ගේ උපේක්‍ෂාව ප්‍ර‍ණීත යැ. එහෙත් සැපය මෙන් ඉතා තීක්‍ෂණ නොවේ. අකුශල විපාකයෙහි උපේක්‍ෂාව හීන යැ. එහෙත් දුක්ඛය මෙන් ඉතා තීක්‍ෂණ නොවේ.

ඉතා ඉටු අරමුණෙහි හා, ඉටු මැදහත් අරමුණෙහි වේදනා භේදය ඇති හෙයින් සෝමනස්ස සහගත යැ, උපෙක්ඛා සහගතය යි කුශල විපාක අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුව දෙපරිදි වුව ද, ඉතා අනිටු අරමුණෙහි හා ඉටු මැදහත් අරමුණෙහි වේදනා භේදය නැති හෙයින් අකුශල විපාක අහේතුක මනොවිඤ්ඤාණ ධාතුව එකස්වරූප මැ වේ. එහෙයින් අකුශල විපාක සප්තවිධ වේ.

එහි වේදනා භේදය වේ නම් ඉතා අනිස්ට හෙයින් දෝමනස්සය විය යුතු. එසේ වන්නා හෙද ප්‍ර‍තිඝය විනා නූපදනේ යි. මෙහි කාය විඤ්ඤාණය දුක්ඛ සහගත මැයි. එය කුශල විපාකයෙහි කියන ලද්දට විපර්‍ය්‍යාසවැ වේ. මේ අකුඅශල විපාක විෂයෙහි උපේක්‍ෂාව අකුශලයා ගේ විපාකය හෙයින් හීන යැ. එහෙත් දුඃඛය මෙන් ඉතා කටුක නො වුවද, දුඃඛ ස්වභවායෙන් පවතී, එහි උපේක්‍ෂා සහගත බව බලවත් පුරුෂයකු විසින් මැඩ ලන ලද දුර්‍වල පුරුෂයකු ගේ මැදහත් වීම මෙනි.

මෙසේ අකුශල විපාක සත හා, පෙර කී කුශල විපාක සොළස දැයි කාමාවචර විපාක තෙවිසි (23) වැදෑරුම් වේ.

(2) රූපාවචර විපාක, රූපාවචර විපාකය ද කුශලය මෙනි. ප්‍ර‍ථම ධ්‍යානාදීන් විසින් පඤ්චවිධ යි. එහෙත් කුශලය සමාපත්ති වශයෙන් ජවන වීථියෙහි පවතී, විපාකය උප්පත්තියෙහි පටිසන්‍ධි - භවාඞ්ග - චුති වශයෙන් පවතී. (එහෙත් පඤ්චමධ්‍යාන අභිඥා චිත්ත ය ධ්‍යානයා ගේ ආනිසංසමැ වන හෙයින් විපාකයක් නැත්මැයි.)

(3) අරූපාවචර විපාක, අරූපාවචර විපාකය ද කුශලය මෙන් කසිණුග්ඝාටිමාකාසාදි වසයෙන් ආලම්බන භේදයෙන් චතුර්විධ වේ. ප්‍ර‍වෘත්ති භේදය ද රූපාවචරයෙහි කීසේ ය.

(4) ලෝකුත්තර, ලෝකෝත්තර විපාකය ද චතුමාර්‍ග - සම්ප්‍ර‍යුක්ත වූ කුශල චිත්තයා ගේ ඵල හෙයින් චතුර්විධ වේ. හෙද මාර්‍ග වීථි වශයෙන් හා ඵල සමාපත්ති වීථි වශයෙන් ද්විවිධ වේ. හෙද මාර්‍ග වීථියෙහි දෙතුන් වරක් හා ඵල සමාපත්ති වීථියෙහි අප්‍ර‍මාණවැ පවතී.

මෙසේ චතුර්විධ භූමියෙහි සතිස් (36) වැදෑරුම් විපාක විඥානය වේ.

3. (2) ක්‍රියා සිත්, i කාමාවචර ii රූපාවචර iii අරූපාවචර යැයි (ලොකුත්තර ක්‍රියා නැති හෙයින්) භූමි භේදයන් ත්‍රිවිධ වේ.

(ඵල චිත්තය ඒකාන්තයෙන් අනන්තර ඵල බැවින් හා ලොකෝත්තර මාර්‍ග චිත්තය එක වරක් පමණක් උපදනා හෙයින් හා නැවත නැවත ඉපදීම නිෂ්ඵල හෙයින් ලොකෝත්තර ක්‍රියා සිත් කැලම නැති.)

i කාමාවචර ක්‍රියා සිත් (අ) අහේතුකය, (ඉ) සහේතුක යයි ද්විවිධය.

(අ) ලෝභාදි ක්‍රියා හේතු රහිත වූයේ අහේතුකය.

එය (1) (මනෝධාතු) උපෙක්ඛා සහගත පඤ්චද්වාරාවජ්ජන ය, (2) (මනොවිඤ්ඤාණ ධාතු) එසේ ම මනොද්වාරාවජ්ජන යැයි ද්විවිධ ය.

(1) චක්ඛුවිඤ්ඤාණාදි විපඤ්ච විඤ්ඤාණයට පෙරටුවැ රූපාදි පඤ්චාලම්බන විජානන ලක්ෂණ වූයේ මනෝධාතු ය.

මනනමත්තාධාතු - මනෝධාතු” යි (විශිෂ්ට මනන කෘත්‍යයක් නැති හෙයින්) මනන මාත්‍ර‍ය හෙයින් මේ මනෝ ධාතුය. එහෙයින් ම මෙය මනොවිඤ්ඤාණයට ප්‍ර‍ත්‍යය නොවේ. (විස්තර ධාතුනිර්‍දෙශයේ ය.)

එය චිත්තසන්තානය රූපාදි අරමුණට නැමීම හෝ, භවාඞ්ග අවස්ථාවෙන් පෙරළා අන් ආකාරයකට නැමීම් කෘත්‍යය යැ. රූපාදියට අභිමුඛ කිරීම වැටහෙන ආකාරය යැ. භවාඞ්ග සන්තතිය සිඳීම ආසන්න කාරණය යි. ඉෂ්ටාදි සියලු අරමුණෙහි (විෂය රස අනුභව නොකට හැකි හෙයින්) උපෙක්ඛා සහගත මැ වේ.

(2) මනෝවිඤ්ඤාණ ධාතුව වනාහි (i) සාධාරණය

(ශෛක්‍ෂා‘ශෛක්‍ෂ සියල්ලනට උපදනා හෙයිනි.)

(අශෛක්‍ෂයනට පමණක් උපදනා හෙයිනි) (ii) අසාධාරණ යැයි ද්විවිධ ය.

එහි (i) සාධාරණ මනෝවිඤ්ඤාණ ධාතුව (උපෙක්ඛා සහගත මනොද්‍වාරාවජ්ජනය, උපෙක්ඛා සහගත අහේතුක ක්‍රියා මනෝවිඤ්ඤාණ ධාතුව) ෂඩාලම්බන දැනගැනීම් ලක්‍ෂණය යැ. පඤ්චද්වාරයෙහි වොත්‍ථපනය හා, මනොද්වාරයෙහි මනොද්වාරාවර්‍ජනකෘත්‍යය යැ. පඤ්චද්‍වාර - මනොද්වාරයන්හි වොත්‍ථාපන මනොද්වාරාවජ්ජනයන් වැටහෙන ආකාර ඇත්තේ ය. පඤ්චද්වාරයෙහි වොත්‍ථාපන කාලයෙහි සන්තීරණ කෘත්‍ය සාධක තුන් අහේතුක විපාක මනොවිඤ්ඤාණ ධාතුන් ගේ ද, මනොද්වාරයෙහි භවාඞ්ගයා ගේ ද, අපගමය ආසන්න කාරණය යි.

(ii) අසාධාරණ මනොවිඤ්ඤාණ ධාතුව (3) සොමනස්ස සහගත හසිතුප්පාදය (අහේතුක ක්‍රියා චිත්තය) ෂඩාලම්බනය දැනීම් ලක්‍ෂණය යැ. රහතුන්ට අනෞදාරිකාලම්බනයෙහි සිනහ ඉපදවීම කෘත්‍යය යැ. එසේ බව වැටහෙන ආකාරය යැ. ඒකාන්තයෙන් හෘදය වස්තුව ආසන්න කාරණය යි.

විශේෂ:- රහතුන්ට හැර අන්‍යයන්ට හසිතුප්පාද චිත්තයක් නැති හෙයින් මේ සිත එනම් වී. අන්‍ය වූ කාමාවචර සොමනස්ස සහගත කුසල් - අකුසල් - ක්‍රියාසිත් පෘථග්ජනයන්ට හා ශෛක්‍ෂ - අශෛක්‍ෂයන්ට සිනහ ද උපදවන්නත් මේ සිත විචාරණ ප්‍ර‍ඥාරහිත වැ කාමාවචර අප්‍ර‍ණීතාලම්බනයෙහි අශෛක්‍ෂයනට සිනහ මාත්‍ර‍යක් පහළ කෙරෙමින් උපදී.

භාග්‍යවතුන් වහන්සේට ද පූර්‍වෙනිවාසඥානය, අනාගතංශඥානය, සර්‍වඥතාඥානය යන මොවුන්ට අනුව ම සිනහ පහළ වන හෙයින් මේ ඥානානුපරිවර්තිය යි. අර්ථ කථාවන්හි “තෙසං ඤාණානං චිණ්ණාපරියන්තෙ ඉදං චිත්තං භාවසමානානං උප්පජ්ජති”[2] යි කියන ලදී.

මෙසේ කාමාවචර අහේතුක ක්‍රියා චිත්තය ත්‍රිවිධ ය.

(ඉ) සහේතුක ක්‍රියා චිත්තය ද, කුශලය මෙන් සොමනස්සාදි භේදයෙන් අට වැදෑරුම් වේ.

හුදෙක් කුශලය, ශෛක්‍ෂයනට හා පුහුදුනට උපදී. මේ ක්‍රියාසිත් රහතුන්ට පමණක් උපදී. ශෛෂ-පෘථග්ජනයන්ට උපන්කල විපාක ඉපදවීමට සමර්ථ වේ. රහතුනට උපන්කල එසේ සමර්ථ නොවන හෙයින් ක්‍රියා මාත්‍ර‍ වේ. මේයැ වෙනස.

මින් ප්‍ර‍ත්‍යය විකලත්‍වයෙන් අවිපාකත්‍වයට පැමිණි කුශලා‘කුශලයන් ගේ ද ක්‍රියා බවට පැමිණීම වළකන ලදී. මෙසේ කාමාවචර ක්‍රියා චිත්තය එකොළොස් (11) වැදෑරුම් වේ.

(ii) රූපාවචර ක්‍රියා චිත්තය ද කුශලය මෙන් පස් වැදෑරුම් වේ.

(iii) අරූපාවචර ක්‍රියා චිත්තය ද කුශලය මෙන් සතර වැදෑරුම් වේ. මෙහිදු ක්‍රියායෙහි කුශලයට වෙනස රහත්නට උපදනා වශයෙනි.

මෙසේ කාම-රූප-අරූප භූමීන්හි ක්‍රියා චිත්තය විසි (20) වැදෑරුම් වේ.

මෙසේ කුසල් (21) එක් විස්ස යැ.

අකුසල් (12) දොළොස යැ.

විපාක (26) සතිස යැ

ක්‍රියා (20) විස්ස යැ යි.

සියලු සිත් (මධ්‍යම පුඩු වශයෙන්) (89) එකුන් අනූවෙකි. මොහු (1) පටිසන්‍ධි (2) භවාඞ්ග (3) ආවජ්ජන (4) දස්සන (5) සවණ (6) ඝායන (7) සායන (8) ඵුසන (9) සමපටිච්ඡන (10) සන්තීරණ (11) වොත්‍ථපන (12) ජවන (13) තදාරම්මණ (14) චුති යැයි කෘත්‍ය වශයෙන් තුදුස් ආකාරයෙන් පවතිත්. මින් පිටත් අන්‍ය කෘත්‍යයෙක් නැත්.

කෙසේද යත් :- (1) අෂ්ට කාමාවචර කුශලයන් ගේ අනුභාවයෙන් “කෘතොපචිත කර්‍මය වනාහි අවශේෂ ප්‍ර‍ත්‍යය සමාවායයෙහි විපාකය දෙන්නේ තමා ගේ අනුභාවය පවත්වන්නාක්හු මෙන් වේ” යනු සත්‍යයි. දිව්‍ය මනුෂ්‍ය ලෝකයෙහි සත්ත්‍වයෝ උපදිති. (එකල්හි) ඔවුන් ගේ මරණ කාලයෙහි විපාක දීමට අවකාශ ලැබ එළඹ සිටි පෙර කී කර්‍මය ද, ඒ කර්‍මය කරන කාලයෙහි එයට ප්‍ර‍ත්‍යය වශයෙන් එළඹ සිටි දෙය්‍ය ධර්‍මාදි කර්‍ම නිමිත්ත ද, උපදින භවයෙහි යම් කිසි රූපාදියක් එක්තරා එකක් පැවැති ගති නිමිත්ත ද, යන මොවුන් අතුරින් එක්තරා එකක් අරමුණු කොට සහේතුක කාමාවචර විපාක සිත් අට ද, මනුෂ්‍යයන් අතුරෙහි පණ්ඩක - ජාත්‍යන්‍ධ - බධිරාදි බවට පැමිණෙන්නවුනට දුර්‍වල ද්විහේත්කු කර්‍මයට විපාක වූ උපේක්‍ෂා සහගත අහේතුක විපාක මනොවිඤ්ඤාණ ධාතු නම් වූ උපෙක්ඛා සහගත සන්තීරණය දැ යි විපාක සිත් නවයෙක් ප්‍ර‍තිසන්‍ධි කෘත්‍යය කෙරේ.

යම් කලෙක රූපාවචර - අරූපාවචර කුශලයන් ගේ අනුභාවයෙන් රූපා‘රූප භවයන්හි ප්‍ර‍තිසන්‍ධියට පැමිණෙත් නම් එකල්හි ඔවුන් ගේ මරණ අවස්ථාවෙහි එළඹ සිටි පඨවිකසිණාදි කර්‍මනිමිත්ත මැ අරමුණු කොට නව රූපාවචර අරූපාවචර විපාක සිත් ප්‍ර‍තිසන්‍ධි වශයෙන් පවතී.

යම් කලෙක පෙර කී ප්‍ර‍තිසන්‍ධි දීමේ ශක්තිය ඇති වැ පැවැති අකුශල කර්‍මය අපායෙහි උපදවා ද ඵල ඔවුන් ගේ මරණාවස්ථාවෙහි එළඹ සිටි කර්‍ම, කර්‍මනිමිති, ගතිනිමිතීන් අතුරින් එක්තරා එකක් අරමුණු කොට එකම අකුසලවිපාක අහේතුකමනොවිඤ්ඤාණධාතුව (උපෙක්ඛාසහගත සන්තීරණ චිත්තය) ප්‍ර‍තිසන්ධි වශයෙන් පවතී.

මෙසේ එකුන්විසින (19) විපාක විඥානයන් ගේ ප්‍ර‍තිසන්‍ධි කත්‍ය වශයෙන් පැවැත්ම දත යුතු.

(2) එම පටිසන්‍ධි විඤ්ඤාණයන් අතුරින් යම් සිතක් ඉපිද නිරුද්ධ වූ කල එය ලුහු බඳිමින් එම විපාක විඤ්ඤාණය මැ ඒ ප්‍ර‍තිසන්‍ධිජනක අරමුණෙහි මැ භවාඞ්ගසිත වශයෙන් පවතී. (එම විඤ්ඤාණය මැ යැයි කීයේ එබඳු වූ ම විඤ්ඤාණය සඳහාය.) නැවත ද එසේ මැ පවතී.

භවාඞ්ග සන්තතිය සිඳීමට හේතු වූ ක්‍රියාමය චිත්තයෙන් ස්වප්න දක්නා අවස්ථාව හැර නිද්‍රොපගතයා හටද, නදී ශ්‍රොතයක් සේ අප්‍ර‍මාණ භවාඞ්ග සන්තතිය අවිච්ඡින්න වැ පහළ වන්නේ ය. (එහෙයින් මැ උප්පත්ති භවයා ගේ නොසිඳීමට අඞ්ග භාවයෙන් පවත්නා හෙයින් භවාඞ්ග යයි කියනු ලැබේ.)

මෙසේ ඒ එකුන්විසින ප්‍ර‍තිසන්‍ධි විපාක විඥානයන් ගේ භවාඞ්ග වශයෙන් ද පැවැත්ම දත යුතු.

මෙසේ භවාඞ්ග සන්තතිය පවත්නා කල චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයෝ (මාතෘකුක්‍ෂිගත කාලයෙහි මෙන් බිහි වූ පසු ද ස්වකෘත්‍ය කිරීමට අසමර්‍ථ වුව ද, අනුක්‍ර‍මයෙන් විශද බවට පැමිණ ස්වකෘත්‍ය කිරීමට සමර්‍ථ වූ කල්හි) රූපාදි ආලම්බන හමුවුව ඒ ආපාථගත වූ රූපාලම්බනය නිසා චක්‍ෂුඃ ප්‍ර‍සාදයා ගේ ගැටීම වේ. එයට අනතුරු වැ ඒ ඝට්ටන බලයෙන් භවාඞ්ග චිත්තයා ගේ චලය වේ. (මෙය චිත්තසන්තානයාගේ පූර්‍ව අවස්ථාවෙන් භින්න අවස්ථාවකට හේතු වූ හෙයින් චලනය වැනි හෙයින් චලනය යි කීහ.)

ප්‍ර‍ශ්නයෙකි :- විෂය විෂයී භාවයෙන් රූපාලම්බනයා ගේ චක්‍ෂුඃප්‍ර‍සාදය හා ගැටීම වේවා! එසේ කල අන්‍ය නිශ්‍රිත භවාඞ්ගයා ගේ චලනය කෙසේ වේද?

පිළිතුර :- බෙර ඇසක තුබූ සකුරු කැබෙල්ලක වසා සිටි මැස්සා බෙර ඇසට නිය පිටින් ගැසූ කල (එකාබද්ධහෙයින්) එය දෙදරීමෙන් ඉගිළ යන්නා සේය. චක්‍ෂුඃප්‍ර‍සාදය හා භවාඞ්ග චිත්තය නිශ්‍රිත හෘදය වස්තුව (සියුම් ධමනීන්ගෙන්) ඒකාබද්ධ හෙයිනි.

(3) නැවත එම භවාඞ්ග චලනයට ප්‍ර‍ත්‍යය වූ ආපාථගත රූපාලම්බනය අරමුණු කොට භවාඞ්ග සන්තතිය සිඳින්නාක් මෙන් ආවර්‍ජනකෘත්‍යය සිද්ධ කරන්නා වූ අහේතුක ක්‍රියාමනෝධාතුව (පඤ්චද්වාරාවජ්ජන චිත්තය) උපදී. සොතද්වාරාදියෙහි ද මෙම නයයි. මනොද්වාරයෙහි වනාහි ෂඩ්විධාලම්බනය මැ ආපාථගත කල්හි භවාඞ්ග චලනයට අනතුරුවැ භවාඞ්ගය සිඳින්නාක් මෙන් ආවර්‍ජන කෘත්‍යය සිද්ධකරන්නා වූ අහේතුක ක්‍රියා මනෝවිඤ්ඤාණ ධාතුව (මනොද්‍වාරාවජ්ජන චිත්තය) උපදී.

(පඤ්චද්වාරාවර්‍ජනයට අනතුරුවැ දර්‍ශනාදි කෘත්‍යය නො කියා මනොද්වාරාවජ්ජනය කියන ලද්දේ චතුර්‍දශ කෘත්‍ය විෂයයෙහිලා දෙකම ආවජ්ජන නමින් ගන්නා ලද හෙයිනි.)

පඤ්චද්වාරාවර්‍ජනයට අනතුරුවැ චක්‍ෂුර්ද්වාරයෙහි දර්‍ශන කෘත්‍යය සිද්ධ කරන චක්‍ෂුඃප්‍ර‍සාද වස්තුක වූ චක්ඛුවිඤ්ඤාණ චිත්තය, ශ්‍රොත්‍ර‍ද්වාරයෙහි ශ්‍ර‍වණ කෘත්‍යාදිය සිද්ධ කරන ශ්‍රොත්‍ර‍-ඝ්‍රාණ-ජිහ්වා-කාය විඥානයෝ පවතිත්. ඉෂ්ට-ඉෂ්ටමධ්‍යස්ථ විෂයයන්හි ඔහු කුඳාසල විපාකයහයි මෙසේ දශවිධ විපාක විඤ්ඤාණයන් ගේ (4) දස්සන (5) සවන (6) ඝායන (7) සායන (8) ඵුසන වශයෙන් පැවැත්ම දත යුතු.

(4) “චක්ඛුවිඤ්ඤාණධාතුයා උප්පජ්ජිත්‍වා නිරුද්ධ සමනන්තරා උප්පජ්ජති චිත්තං, මනො, මානසං, පෙ - තජ්ජාමනො විඤ්ඤාණ ධාතු[3]

‘චක්ඛුවිඤ්ඤාණාදියට අනතුරුවැ ඔවුන් ගේ මැ අරමුණ පිළිගන්නා වූ (කුසල විපාක චක්ඛුවිඤ්ඤාණාදියට අනතුරුවැ කුසල විපාක ද, අකුසල විපාකයනට අනතුරුවැ අකුසල විපාක ද) මනෝධාතුව (සම්පටිච්ජන චිත්තය) උපදී.’ මෙසේ මේ විපාක සිත් දෙදෙනා ගේ සම්පටිච්ඡන වශයෙන් පැවැත්ම දත යුතු ය.

(10) “මනෝධාතුයාපි උප්පජ්ජිත්‍වා නිරුද්ධ මනන්තරා උප්පජ්ජති චිත්තං, මනො, මානසං, තජ්ජමනො විඤ්ඤාණ ධාතු[4] යි” මනෝධාතුවෙන් පිළිගත් ආලම්බනය මැ තීරණය කරමින් (අකුසල විපාක මනෝධාතුවට අනතුරුවැ අකුසල විපාක ද, කුසල විපාකයට අනතුරුවැ ඉෂ්ටාලම්බනයෙහි සොමනස්ස සහගතවද, ඉෂ්ටමධ්‍යස්ථාලම්බනයෙහි උපෙක්ඛා සහගතව ද) ත්‍රිවිධ විපාක මනෝවිඤ්ඤාණ ධාතුන් ගේ සන්තීරණ වශයෙන් පැවැත්ම දතයුතු.

(11) “සන්තීරණානන්තරං පන තමෙව විසයං වවත්‍ථාපයමානා උප්පජ්ජති ක්‍රියාහේතුක මනොවිඤ්ඤාණධාතු උපෙක්ඛාසහගතා”[5] යි මෙසේ එකම ක්‍රියා මනෝවිඤ්ඤාණයා ගේ වොත්‍ථපන වශයෙන් පැවැත්ම දතයුතු.

(12) වොත්‍ථපනයට අනතුරුවැ වනාහි ජවන පරියෝසාන කොට ඇති චිත්තක්‍ෂණ තුදුසක් (14) ආයු ඇති, මහන්තාලම්බන වීනම් එකල එම විෂයයෙහි අටවැදෑරුම් කාමාවචර කුශලයන් හෝ, දොළොස් අකුශලයන් හෝ නවවැදෑරුම් අවශේෂ කාමාවචර ක්‍රියාවන් හෝ, අතුරෙන් එකක ගේ වශයෙන් ජවන් සයෙක් හෝ සතෙක් හෝ උපදී. එකම සිත සවරක් හෝ, සත්වරක් දිවේ. මේ පඤ්චද්වාරයෙහි ක්‍ර‍මය යි. (මූර්ඡාදි කාලවල පස්වරක් හෝ ඉපදිය හැකි ය.)

මනොද්වාරයෙහි වනාහි මනොද්වවාරාවජ්ජනයට අනතුරුවැ පෙරකී එකුන්විසි (19) ජවනයන් අතුරින් කිසි චිත්තයෙක්ම ජවන වේ.

අර්පණාවීථින්හි ඒ ඒ ධ්‍යානයන්ට හෝ, මාර්‍ගාදියට අනුරූප සේ ලබන ලද ප්‍ර‍ත්‍යය අනුවැ ත්‍රිහේතුක කාමාවචර කුසල හෝ, ක්‍රියා චිත්තයක් මනොද්වාරාවජ්ජනයට අනතුරුවැ පරිකර්‍ම-උපචාර-අනුලොම-ගොත්‍ර‍භූ නාමයෙන් උපන් අනුතරුවැ පෘථග්ජන - ශෛක්‍ෂයනට ප්‍ර‍ථමධ්‍යානාදි රූපාවචර කුශල ධ්‍යාන පස හෝ, අරූපාවචර කුශල ධ්‍යාන සතර හෝ, ලෝකෝත්තර මාර්‍ග සතර හෝ ජවන වශයෙන් උපදී.

අශෛක්‍ෂයනට කාමාවචර ත්‍රිහේතුක ක්‍රියා සිත් සතරින් එකක් පරිකර්‍මාදි වශයෙන් උපන් කල, රූපාවචර-අරූපාවචර ක්‍රියා සිත් ජවන වශයෙන් උපදී. මේ ආදිකාර්මිකයාට යැ. සෙස්සන්ට පරිකර්‍ම නැති. එසේම ද්විතීය මාර්‍ගාදියෙහි දී “ගෝත්‍රභූ” වෙනුවට උපදනේ “වෝදාන” යයි කියනු ලැබේ. ඵල සමාපත්ති වීර්‍ථයෙහි ‘ගෝත්‍ර‍භූ’ හෝ වෝදානයට හෝ අනතුරුවැ ඵල සිත් ජවන් වශයෙන් උපදී. (මෙහි තවද විස්තර බෙහෙවි.) මෙසේ කුසල-අකුසල-ක්‍රියා-විපාක (ඵල) චිත්තයන් ගේ වශයෙන් පස්පනස් (55) ජවනයෝ දතයුතු වෙත්.

(13) ජවනාවසානයෙහි පඤ්චද්වාරයෙහි අතිමහන්තාලම්බන හෝ (ෂොඩශචිත්තක්‍ෂණායුෂ්ක හෙයිනි) මනොද්වාරයෙහි විභූතාලම්බන හෝ වේ ද, එකල කාමාවදර සත්ත්‍වයනට, කාමාවචර ජවනාවසානයෙහි, ඉෂ්ට, ඉෂ්ටමධ්‍යස්ථ, අනිෂ්ටාලම්බන වශයෙන් ද, පූර්‍වකර්‍මාදීන් ගේ වශයෙන් ද, ජවන චිත්ත වශයෙන් ද, පටිසන්‍ධි චිත්ත වශයෙන් ද, යම් යම් ප්‍ර‍ත්‍යයෙක් ලැබේ නම් ඒ ඒ ප්‍ර‍ත්‍යයන් ගේ වශයෙන් අටවැදෑරුම් කාමාවචර කුශල විපාක චිත්තයන් හා ත්‍රිවිධ අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුන් ද යන එකොළොස් චිත්තයන් අතුරින් එක්තරා එකක්, උඩුගංබලා යන නැවක් ලුහුබැඳ මඳක් දුර යන ජලය මෙන් භවාඞ්ග චිත්තයට අයත් අරමුණ හැර අන්‍ය (ජවන ගත්) ආලම්බනයෙහි දිවූ ජවනය ලුහුබැඳ දෙවරක් විපාක විඤ්ඤාණය උපදී. ඒ ජවනය ගත් ආලම්බනය මැ ආලම්බන කොට පවත්නා හෙයින් ‘තදාලම්බන’ යැයි කියනු ලැබේ.

මින් රූපා‘රූප භවයන්හි ද අතිමහන්ත හා විභූතාලම්බන ඇත ද, (අචඤ්චලහෙයින්) තදාලම්බන නූපදනා බව් කී නියායි.

කාම තෘෂ්ණා හේතු කර්‍මයෙන් නිපන් ඒ තදාලම්බනය මහද්ගත, ලෝකෝත්තර ජවනයන් ලුහු නො බඳී.

නිදර්‍ශනයක් :- ගෙයින් පිටත යනු කැමැති ළදරුවා පියා හෝ, පියා සමානයෙක් හෝ පසුපස්සේ යේ. එයට වෙනසු වූවකු ලුහු නොබඳින්නාක් මෙනි. (තමහට ජනක කර්‍මය හෝ, තත්සදාශ ක්‍රියාව හෝ ලුහු බඳනේ යි.)

කාමාවචර ජවන් එක්තිසෙකි. (31) තදාලම්බන එකොළොසෙකි. (11) සියලු ජවන් කෙරෙන් ඒ සියලු තදාලම්බන නූපදී.

ඒ නියමය මෙසේයි :-

සෝමනස්ස සහගත ක්‍රියා ජවනයන් කෙරෙන් සෝමනස්ස සහගත තදාලම්බනයෝ මැ වෙති. උපෙක්ඛා සහගත ක්‍රියා ජවනයන් කෙරෙන් හා, දෝසමූලික අකුසල් කෙරෙන් උපෙක්ඛා සහගත තදාලම්බනයෝ මැ වෙති.

කාමාවචර කුසල් කෙරෙන්ද, ලෝභමූල, මෝහමූල, අකුසල් කෙරෙන් ද, සෝමනස්ස සහගත තදාලම්බන ද, උපෙක්ඛා සහගත තදාලම්බන ද, ආලම්බනානුරූප වැ වෙති. එහිදු අකුසල ජවනයට අනතුරු වැ අහේතුක තදාරම්මණ ද, (අහේතුක මනෝවිඤ්ඤාණධාතු තුන ද) ද්විහේතුක ජවනයට අනතුරු වැ ද්විහේතුක තදාරම්මණ , ත්‍රිහේතුක ජවනයට අනතුරු වැ ත්‍රිහේතුක තදාරම්මණ ද, බොහෝ සෙයින් වෙති.

ඉෂ්ටාලම්බනයෙහි සොමනස්ස සහගත වූ මැ තදාලම්බනයෝ වෙති.

ඉෂ්ටමධ්‍යස්ථාලම්බනයෙහි කුසල විපාක උපෙක්ඛා සහගත තදාලම්බනයෝ වෙති.

අනිෂ්ටාලම්බනයෙහි අකුශල විපාක උපෙක්ඛා සහගත තදාලම්බනයෝ වෙති.

ප්‍ර‍තිසන්‍ධිජනක කර්‍මය පමණක් නොව ප්‍ර‍වෘත්ති විපාක ජනක කර්‍මය ද තදාරම්මණ උපදවන්නේ ය. ඒ ප්‍ර‍වෘත්ති විපාක ජනක කර්‍මය ප්‍ර‍තිසන්‍ධි විපාක ජනක කර්‍මයෙන් උපදවන තදාරම්මණයට වෙනස් වූ ද තදාරම්මණ උපදවන්නේ ය.

තදාරම්මණාවසානයෙන් නැවත ද භවාඞ්ග වේ. භවාඞ්ගය සිඳුණු කල ආවර්‍ජනාදිය වේ. එයට අනතුරු වැ දර්‍ශනාදිය චිත්ත නියාමය වශයෙන් නැවත නැවත පවතී.

(14) එක් භවයෙක් හි හැමට පසුවැ උපදනා භවාඞ්ග චිත්තය මැ ඒ භවයෙන් චුතිය වන හෙයින් චුතිය යි කියනු ලැබේ. භේද එකුන්විසි (19) වැදෑරුම් වේ.

මෙසේ එකුන්විසි වැදෑරුම් විපාක චිත්තයන්ගේ ම චුති වශයෙන් පැවැත්ම දතයුතු. චුතියෙන් මතු නැවත ප්‍ර‍තිසන්ධිය ද ප්‍ර‍තිසන්‍ධියෙන් මතු නැවත භවාඞ්ගය දැයි මෙසේ ත්‍රිවිධ භවය, පඤ්චගතිය, සප්තවිඥානස්ථිතිය, නවසත්ත්‍වාවාසය යන මෙතෙක් තන්හි සැරිසරන්නා වූ සත්ත්‍වයන් ගේ චිත්ත සන්තතිය නො සිඳ පවත්නේම ය. මේ ලෝකයෙහි යමෙක් අර්‍හත්‍වයට පැමිණියේ නම් උන්වහන්සේගේ චුති චිත්තය නිරුද්ධ වූ කල්හි නැවත නූපදනා සේ නිරුද්ධ වන්නේම ය.

මේ විඥානස්කන්ධයෙහි විස්තර කථාව යි.

  1. ම:නි: මූලපණ්ණාසක 295 පිට

  2. අත්‍ථසාලිනී චිත්තුප්පාදවණ්ණනා 258

  3. වි:ප: ධාතුවිභඞ්ග 67 පිට

  4. වි:ප: ධාතුවිභඞ්ග 68 පිට

  5. වි:ප: ධාතුවිභඞ්ග 68 පිට